තමන් බලශක්ති අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට බලපෑවේ “ මුළු රටම හරි මගට” වැඩසටහන නොවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශකර සිටියේය.
ඇමරිකාවේ නිව්පෝට්‍රස් එනජි සමාගම සහ ශ්‍රී ලංකා රජය අතර එල් එන් ජී සැපයුම සම්බන්ධයෙන් වන ගිවිසුමේ දී එම සමාගමට ඒ සඳහා බලපත්‍රයක් බලශක්ති අමාත්‍යවරයා විසින් නිකුත් කළ යුතු බවත් තමන් බලශක්ති අමාත්‍ය ධූරයේ සිටින තාක් එම බලපත්‍රයට අත්සන් නොතබන බැවින් තමන් බලශක්ති අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට එය ප්‍රබලව බලපෑ බව හිටපු බලශක්ති අමාත්‍ය පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ය.
පසුගිය සදුදා දින (28) විකාශය වූ හිරු සළකුණ වැඩසටහන හා එක් වෙමින් ඔහු මේ අදහස් දැක්වීය.
1955 පටන්ගෙන 1977 වසරේ සිට තීවුර කළ ණයට කෑමේ සංස්කෘතිය රට අද මුහුණ පා තිබෙන ආර්ථික අර්බුදයට ප්‍රධානතම හේතුව බව පැහැදිලි කළ නීතිඥ උදය ගම්මන්පිල මහතා මේ රජය එය කළමනාකරණය කර ගැනීමේ හැකියාව තිබියදී ඒ සඳහා ගත යුතු පියවර නොගෙන අර්බුදය තවදුරටත් තීවුර වීමට ඉඩ හැරිය බවට චෝදනා කළේය.
මෙහිදී බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාට ඇමරිකාවේ එල්ලවී ඇති මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායකයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් නම් ගම් සහිත විශේෂ හෙලිදරව්වක් ද සිදු කලේය.
පසුගිය ජනාධිපතිවරණයට අදාළව ගෝඨාභය රාජපක්ෂ මහතා නීතිඥයන් විසින් සිදුකළ පරීක්ෂණ විමර්ශනයක දී මෙම තත්ත්වය හෙළි වී ඇතැයි ඔහු විසින් පැවසූ බවද මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය. යුද අපරාධ චෝදනා මෙන්ම මුල්‍ය විශූද්ධිකරණ චෝදනාවන්ද බැසිල් රාජපක්ෂ මහතාට එල්ල වී ඇති බවද ගෝටාභය රාජපක්ෂ මහතා පැවසූ බවද හෙතෙම කියා සිටියේය.