ආර්ථික පුනර්ජීවනය සදහා ජනාධිපති කාර්ය සාධක බලකායක්

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කරයි. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවෙන් ජනාධිපතිතුමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරවයි.

ලොව පුරා ව්‍යාප්ත කොරෝනා වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ උද්ගත වී ඇති ආර්ථික හා සමාජයීය අභියෝග සහ ඉඩ ප්‍රස්ථා කෙරෙහි සුවිශේෂ අවධානය යොමු කරමින් ආර්ථික පුනර්ජීවනය සැලසීමේ සහ දරිද්‍රතාවය තුරන් කිරීමේ වගකීම මෙම කාර්ය සාධක බලකායට පැවරේ.

“සෞභ්‍යාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අන්තර්ගත දර්ශනය පදනම් කර ගනිමින් නව ප්‍රවේශයක් ඔස්සේ මෙරටට අනන්‍ය වූ ආර්ථික රාමුවක් සකස් කිරීම මගින් නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා අදාළ ආයතනවලට අවශ්‍ය මගපෙන්වාදීම කාර්ය සාධක බලකායට පැවරී ඇති ප්‍රමුඛ වගකීමකි.

දේශීය කර්මාන්තකරුවන්, ව්‍යවසායකයින් දිරි ගන්වන ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ස්ථාපනය කිරීම සඳහා ඒකාබද්ධ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම තවත් කාර්යයක් වේ.

ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාමට සෞඛ්‍ය හා අධ්‍යාපන කාර්ය සාධක බලකායන්ගේ ක්‍රියාකාරිත්වය ද සැලකිල්ලට ගෙන සියලුම ආයතන සම්බන්ධීකරණය කරමින් නිෂ්පාදන බෙදාහැරීමට අවශ්‍ය පියවර ගැනීම ද ඊට පවරා තිබේ.

කිසියම් රාජ්‍ය සේවකයෙකු හෝ අමාත්‍යාංශයක්, රජයේ දෙපාර්තමේන්තුවක්, රාජ්‍ය සංස්ථාවක් හෝ වෙනත් එබඳු ආයතනයක් කාර්ය සාධක බලකාය විසින් පවරනු ලබන රාජකාරී හා වගකීම් ඉටුකිරීම ප්‍රමාද කරන හෝ පැහැර හරින හෝ සියලු අවස්ථා ජනාධිපතිතුමා වෙත වාර්තා කරන ලෙස බලකායට විධාන කර ඇත.

2020 ජනවාරි 24 හා 2020 මාර්තු 24 දිනැති දරිද්‍රතාව තුරන් කිරීම සහ ජීවනෝපාය සංවර්ධනය සඳහා වූ කාර්ය සාධක බලකාය සහ 2020 මාර්තු 23 දිනැති කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේදී වැඩි අවදානම් තත්ත්වයකට මුහුණ පා ඇති දිස්ත්‍රික්කවල සමස්ත ජන ජිවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සේවාවන් විධිමත් ලෙස කළමනාකරණය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය ස්ථාපනය කිරීමට අදාළ විධිවිධානයන් මේ සමග අවලංගු කෙරේ.

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන කාර්ය සාධක බලකාය වෙත පැවරී ඇති කාර්යභාරය සහ වගකීම් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කරනු ලැබේ. ජනාධිපති විශේෂ නියෝජිත බැසිල් රාජපක්ෂ මහතා කාර්ය සාධක බලකායේ සභාපතිත්වය හොබවයි. අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් ඇන්ටන් පෙරේරා සහ ඩී.එස්. ජයවීර මහත්වරු සම ලේකම්වරු වෙති.

එමෙන්ම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී/ යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා, ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන්ද පෞද්ගලික ආයතන ප‍්‍රධානීන්ද ඇතුළත්ව සාමාජිකයින් 30 දෙනෙකු මෙම කාර්ය සාධක බලකායට පත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *