ආණ්ඩුවේ සියලු පාර්ශ්ව 20 වැනි සංශෝධනය ගැන එක මතයක සිට කටයුතු කරනවා – අගමැති

Share this Article

විසි වැනි සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුවේ සියලු පාර්ශ්ව එක මතයක සිට කටයුතු කරන බවත් එම නිසා විසි වැනි සංශෝධනයට කිසිදු ගැටලුවක් ඇති නොවනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරුන් සහ පුවත්පත් කතුවරුන් සමඟ අරලියගහ මන්දිරයේදී ඊයේ (29) පැවති හමුවේදීය.

20 වැනි සංශෝධනය අධ්‍යයනයට ඒ ඒ පක්ෂ කමිටු පත් කැර තිබෙන බවත් ඒ සඳහා එම පක්ෂවලට අයිතියක් ඇති බවත් පැවැසු රාජපක්ෂ මහතා, අවසානයේ සියලු පක්ෂ සමඟ සාකච්ඡා කැර 20 සම්බන්ධයෙන් එක මතයකට පැමිණෙන බවත් කීවේය.

විසි වැනි සංශෝධනයෙන් පසු අගමැති තනතුර නාමික තනතුරක් බවට පත් නොවන බව පැවැසු අගමැතිවරයා, කුමන මති මතාන්තර තිබුණත් ස්ථිර ලෙසම ආණ්ඩුවට තුනෙන් දෙකක බහුතර බලයක් ජනතාව ලබා දී තිබෙන බැවින් විසිවැනි සංශෝධනය ගැන සැකයක් තබා ගත යුතු නැතැයි ද පවසා සිටියේය.


Share this Article

Leave a Reply

Your email address will not be published.