අය වැය නොවැම්බර් 17 වැනිදා

ලබන වසර (2021) සඳහා වූ අය වැය ලබන නොවැම්බර් 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා මේ බව පැවසුවේ කොළඹ කොටුවේ පිහිටි මුදල් අමාත්‍යාංශයේ ඊයේ (30) දහවල් පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින්. ශ්‍රී ලංකා අය වැය ඉතිහාසයේ අය වැය ලේඛනයක් නොමැතිව අතුරු සම්මත ගිණුම් මඟින් රජයේ ආදායම් වියදම් වලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීම මේ වසරේ සිදු කෙරිණි.

මාධ්‍යවේදියකු නැඟූ පැනයකට පිළිතුරු ලබාදෙමින් ආටිගල මහතා සඳහන් කළේ මේ වසරේ අය වැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 9%ක් වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද එනමුත් ලබන වසරේ අය වැය හිඟය කොතරම් අභියෝග හමුවේ වුව දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 4.5%ක් මට්ටමකට රඳවා ගැනීමට බලාපොරොත්තු වන බවයි.

මේ අතර පසුගිය රජය සමයේ කොන්ත්‍රාත්කරුවන්ට සහ රජයේ සැපයුම්කරුවන්ට නොගෙවා තිබූ රුපියල් කෝටි 24200ක (බිලියන 242) මුදලින් රුපියල් කෝටි 22600ක (බිලියන 226) පෙරේදා වන විට ගෙවා අවසන් කළ බව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා අවධාරණය කළේය. මෙලෙස කොන්ත්‍රාත්කරුවන්ට රජයේ සැපයුම්කරුවන්ට හිඟ තබා තිබූ මුදල් නැවත ගෙවීම නිසා ඔවුන් අතට මුදල් ගලාඒම තුළ ආර්ථිකයේ පිබිදීමක් ඉදිරි දිනවලදී සිදු වනු ඇතැයි ද මුදල් ලේකම්වරයා පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *