ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍රියාවලියේ පවතින ප්‍රමාදයන් අවම කිරීමේ අරමුණින් විවෘත අධිකරණවලදී ඉදිරිපත් වන සාක්ෂි සටහන් කිරීම සඳහා නව යෙදුමක් හඳුන්වාදීමට නියමිත බව වාර්තා වේ.
රාජ්‍ය මාධ්‍ය සිළුමිණ වාර්තා කරන පරිදි, මෙම යෙදුම හඬ හඳුනාගැනීම සහ Voice Typing තාක්ෂණය භාවිත කරමින් සාක්ෂිකරුවන් ලබාදෙන ප්‍රකාශ නිවැරදිව ලිඛිත ආකාරයට පරිවර්තනය කිරීමට සැලසුම් කර තිබේ.
එහි විශේෂත්වයක් වන්නේ එක් එක් සාක්ෂිකරුගේ හඬ වෙන වෙනම හඳුනාගැනීමට හැකි වීමයි. ඒ අනුව එම සාක්ෂිකරු නැවත අධිකරණය හමුවේ සාක්ෂි ලබාදෙන අවස්ථාවකදී ඔහුගේ හෝ ඇයගේ ප්‍රකාශ වෙනත් සාක්ෂිකරුවෙකුගේ ප්‍රකාශ සමඟ මිශ්‍ර වීම වැළැක්වීමට හැකි වනු ඇත.
නඩු වාර්තා සහ නීතිමය සටහන් ලබාගැනීමේදී දිගු කාලයක් ගතවීම ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වන අතර, එම ප්‍රමාදයන් හේතුවෙන් නඩු විභාග අවස්ථා නැවත නැවත කල් දැමීමට සිදුවන බව බලධාරීහු පෙන්වා දෙති.
නව යෙදුම මහේස්ත්‍රාත් අධිකරණ සහ මහාධිකරණවල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, එමඟින් සාක්ෂි සටහන් කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කර නඩු විභාගවල ප්‍රමාදයන් අවම කිරීමටත් අධිකරණ කාර්යක්ෂමතාව වැඩි කිරීමටත් අපේක්ෂා කෙරේ.


