ශ්රී ලංකා පොදුජන පෙරමුණු හා එක්සත් ජනතා නිදහස් සන්ධානය ඇතුළු කණ්ඩායම් එක්ව නව සන්ධානයක් පිහිටුවීම පිළිබඳ ශ්රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්රි ලංකා පොදුජන පෙරමුණ අතර 08 වැනි සාකච්ඡා වටය ඊයේ(6) පැවැත්විණි.
විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැති සාකච්ඡාව සඳහා දෙපාර්ශවය නියෝජනය කරමින් මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, බැසිල් රාජපක්ෂ, බන්දුල ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටි බව වාර්තා වේ.
පැයක පමණ කාලයක් පැවති මෙම සාකච්ඡාවෙන් අනතුරුව ඉදිරි සතිය තුළ තවත් සාකච්ඡා වටයක් පැවැත්වීමට තීරණය වී ඇති අතර ඒ සමගම විපක්ෂ නායක කාර්යාලයේදී ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නිදහස් පක්ෂ නියෝජිතයින් පිරිස හමුවූ බව වාර්තා වේ.
එම දෙපිරිස අතරද සාකච්ඡාවක් පවත්වා ඇති අතර ඉදිරි දිනකදී යළි සාකච්ඡාවක් පැවැත්වීම සඳහා එකඟතාවයක් ඇති කරගෙන ඇති බවද වාර්තා වේ.