ශ්‍රී ලංකාවට මුහුදු මාර්ගයෙන් රැගෙන ඒමට සැලසුම් කළ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 137ක් ඉන්දියාවේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකාවට මුහුදු මාර්ගයෙන් රහසිගතව රැගෙන ඒමට සැලසුම් කර තිබූ ක්‍රිස්ටල් මෙතම්ෆෙටමින් හෙවත් ‘අයිස්’ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 137ක් ඉන්දියානු බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම වැටලීම තමිල්නාඩු ප්‍රාන්තයේදී සිදු කර ඇති අතර, එය ප්‍රධාන මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුමක කොටසකි.

ඉන්දියානු මුදල් අමාත්‍යාංශයට අනුව, ආදායම් බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය (DRI) ඔක්තෝබර් 16 සහ 17 යන දිනවල බුද්ධි තොරතුරු මත පදනම්ව සිදු කළ මෙහෙයුමකදී නාගපට්ටිනම් දිස්ත්‍රික්කයේ වෙරළබඩ ගම්මානයක තිබී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මුහුද මැදදී වෙනත් යාත්‍රාවකට මාරු කිරීමෙන් පසු මෙම මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට රැගෙන ඒමට සැලසුම් කර තිබූ බවයි. අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල නීතිවිරෝධී වෙළෙඳපොළ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 100කට අධික බවට ගණන් බලා තිබේ.

නාගපට්ටිනම් වෙරළබඩ ප්‍රදේශයකට විශාල මත්ද්‍රව්‍ය තොගයක් ගෙනවිත් ගබඩා කර පසුව ශ්‍රී ලංකාවට රහසිගතව රැගෙන යාමට සූදානම් කර ඇති බවට ලැබුණු නිශ්චිත බුද්ධි තොරතුරක් මත මෙම මෙහෙයුම ආරම්භ කර ඇත.

සෝදිසි මෙහෙයුමේදී රිදී පැහැති තීරු යොදා ඇසුරුම් කළ පැකට් 27ක් සහිත ගමන් බෑග් හයක් සොයාගෙන තිබේ. එක් පැකට්ටුවක බර කිලෝග්‍රෑම් පහක් පමණ වන අතර, ඒවායේ තිබී ඇත්තේ ඉහළ සංශුද්ධතාවයකින් යුත් මෙතම්ෆෙටමින් බවට සැක කෙරෙන සුදු පැහැති ස්ඵටිකමය ද්‍රව්‍යයකි.

මේ අතර, මෙම ජාවාරම සංවිධානය කළ බවට සැක කෙරෙන පුද්ගලයාගේ පරිශ්‍රයේ ද සමගාමී සෝදිසි මෙහෙයුමක් සිදු කර තිබේ. එහිදී මත්ද්‍රව්‍ය අලෙවියෙන් ලැබුණු බවට සැක කෙරෙන ඉන්දීය රුපියල් ලක්ෂ 10ක මුදලක් අත්අඩංගුවට ගෙන ඇත.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා භාවිත කළ බවට සැක කෙරෙන රෝද හතරේ වාහන දෙකක් සහ යතුරුපැදියක් ද බලධාරීන් විසින් භාරයට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන් සිව්දෙනකු ඉන්දියාවේ 1985 අංක 61 දරන මත්ද්‍රව්‍ය සහ මනෝවර්තක ද්‍රව්‍ය පනත (NDPS Act) යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණ භාරයට පත් කර ඇත.

ඉන්දියානු මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ, වෙරළබඩ ප්‍රදේශ හරහා මත්ද්‍රව්‍ය ජාවාරම සංවිධානය කිරීම, ප්‍රවාහනය, ගබඩා කිරීම සහ ඊට අදාළ සැපයුම් කටයුතු සිදු කළ බවට චෝදනා එල්ල වන ජාලයක් මෙම මෙහෙයුමෙන් අනාවරණය වූ බවයි.

මෑත වසරවලදී තමිල්නාඩු වෙරළබඩ කලාපයෙන් සොයාගත් විශාලතම මත්ද්‍රව්‍ය තොග අතරට මෙම අත්අඩංගුවට ගැනීම ද ඇතුළත් වන බව අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා ඉන්දියාවේ වෙරළ තීරය භාවිත කිරීම වැළැක්වීමට අඛණ්ඩව ක්‍රියාමාර්ග ගන්නා බව ද එම අමාත්‍යාංශය අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *