වෙරළ සංරක්ෂණ සීමා ඉක්මවා ගැබියන් බැම්ම ඉදිකර ඇත්දැයි පරීක්ෂණයක්: ඉදිකිරීම් තාවකාලිකව නවත්වයි

වත්තල, පමුණුගම වාහටියගොඩ වෙරළ ප්‍රදේශයේ ඉදිකරමින් පවතින ගැබියන් බැම්ම අනුමත සීමාව ඉක්මවා ඉදිකර ඇත්දැයි විමර්ශනයක් සිදු කරන තෙක් එහි ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නතර කරන ලෙස පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා නියෝග කර තිබේ.

අමාත්‍යවරයා සෙනසුරාදා (12) එම ස්ථානයේ නිරීක්ෂණයක නිරත වූ අතර, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරීන් පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියහ.

වෙරළ ඛාදනය වැළැක්වීම සඳහා ඉදිකර ඇති මෙම ගැබියන් බැම්මේ ඇතැම් කොටස් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නියම කර ඇති සීමාවෙන් ඔබ්බට ඉදිකර ඇති බවත්, එමඟින් වෙරළට අයත් ප්‍රදේශද ආවරණය වී ඇති බවත් නිරීක්ෂණයේදී අනාවරණය වී ඇතැයි සඳහන් වේ.

ඒ අනුව, වැඩිදුර දැනුම්දීමක් කරන තෙක් ඉදිකිරීම් කටයුතු අත්හිටුවන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

එමෙන්ම ව්‍යාපෘතිය සඳහා ලබාදී ඇති අනුමැතීන්, අවසර ලබාදී ඇති සීමාවන් සහ ඉදිකිරීම් කටයුතු සිදු කර ඇති ආකාරය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කරන ලෙසද අමාත්‍යවරයා උපදෙස් දී ඇත.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදාළ රාජ්‍ය නිලධාරීන් සිය වගකීම් සහ රාජකාරි නිසි පරිදි ඉටු කර තිබේද යන්න පිළිබඳවද පරීක්ෂා කිරීමට නියමිතය.

මේ අතර, පවතින සක්‍රීය මෝසම් තත්ත්වය හේතුවෙන් මුහුදු රළ ප්‍රබල වීමෙන් හානි වූ වත්තල, දික්ඕවිට, තල්දියවත්ත ප්‍රදේශයේ නිවසක්ද අමාත්‍යවරයා නිරීක්ෂණය කර තිබේ.

එම ප්‍රදේශයේ වෙරළ ඛාදනය සම්බන්ධයෙන් තාක්ෂණික ඇගයීමක් සිදු කර, පදිංචිකරුවන් සහ දේපළ තවදුරටත් හානිවලින් ආරක්ෂා කිරීම සඳහා ක්ෂණික සහ දිගුකාලීන ක්‍රියාමාර්ග හඳුනා ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

වෙරළ කලාපය තුළ සංවර්ධන කටයුතු සහ වෙරළ සංරක්ෂණ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමේදී අදාළ නීති, රෙගුලාසි සහ තාක්ෂණික නිර්දේශ අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *