රුපියල් 50,000කට දිවිදෙදි දතක් විකිණීමට ගිය සැකකරුට රුපියල් ලක්ෂ 4ක ඇප

මාතර ප්‍රදේශයේදී රුපියල් 50,000ක මුදලකට දිවියකුගේ දතක් විකිණීමට උත්සාහ කළ බවට අත්අඩංගුවට ගත් 26 හැවිරිදි සැකකරුවකු රුපියල් 200,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට මාතර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල පදිංචිකරුවකු වන සැකකරු ඔක්තෝබර් 14 වැනිදා උඩවලව ජාතික වනෝද්‍යානයේ පනාහඩුව වනජීවී ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් දිවි දත ද සමඟ සැකකරු එදිනම මාතර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

අනතුරුව සැකකරු ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කර ඇති අතර, නඩුව යළි දෙසැම්බර් 11 වැනිදා කැඳවීමට නියමිතය.

වනජීවී බලධාරීන්ට අනුව, ශ්‍රී ලංකා දිවියා (Panthera pardus kotiya) වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ දැඩි ආරක්ෂාවට ලක් කර ඇති සත්ත්වයෙකි.

ආරක්ෂිත වන සතුන්ගේ ශරීර කොටස් සන්තකයේ තබා ගැනීම, ප්‍රවාහනය කිරීම, ප්‍රදර්ශනය කිරීම සහ වෙළෙඳාම් කිරීම නීතියෙන් තහනම් බව බලධාරීහු අවධාරණය කරති.

ආරක්ෂිත වන සතුන්ගේ ශරීර කොටස් සම්බන්ධ නීතිවිරෝධී ජාවාරම් වැළැක්වීම සඳහා අඛණ්ඩව කටයුතු කරන අතර, වනජීවී අපරාධ පිළිබඳ තොරතුරු 1992 හදිසි දුරකථන අංකය ඔස්සේ දැනුම් දෙන ලෙස ද මහජනතාවගෙන් ඉල්ලා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *