රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණ කොමිසමේ කාර්යාලය අද විවෘත කෙරේ

රාජ්‍ය අංශයේ නිලධාරීන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් ක්‍රමවේදය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා පත් කළ රාජ්‍ය අංශයේ වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිසමේ කාර්යාලය අද (04) විවෘත කරන බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) සඳහන් කරයි.

කොළඹ 07, මාලලසේකර මාවතේ පිහිටි කොමිසමේ කාර්යාලය පෙරවරු 10.00ට විවෘත කිරීමට නියමිතය.

2026 ජුනි 22 වැනිදා අංක 2494/05 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් ජනාධිපතිවරයා නිකුත් කළ නියෝගයකට අනුව මෙම කොමිසම ස්ථාපිත කර තිබේ.

රාජ්‍ය අංශයේ වැටුප් හා විශ්‍රාම වැටුප් සම්බන්ධ ගැටලු විසඳීම, රාජ්‍ය සේවකයන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම සහ නව තාක්ෂණික වර්ධනයන් හා ගෝලීය ප්‍රවණතාවලට අනුකූලව රාජ්‍ය සේවය නවීකරණය කිරීම සඳහා අවශ්‍ය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම කොමිසම වෙත පවරා ඇති ප්‍රධාන වගකීම් වේ.

මෙම අරමුණු ඉටුකර ගැනීමේ කොටසක් ලෙස වෘත්තීය සමිති, සංවිධාන සහ මහජනතාවගෙන් අදහස් හා යෝජනා ලබාගැනීමේ නිල ක්‍රියාවලියද හෙට සිට ආරම්භ කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *