වත්මන් රජය 2024 සැප්තැම්බර් 21 වැනිදා බලයට පත්වීමෙන් පසු, විදේශගතව සැඟවී සිටි සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවන් 66 දෙනෙකු යළි ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන ඇති බව වාර්තා වේ.
රාජ්‍ය මාධ්‍ය සිළුමිණ වාර්තා කර ඇති පරිදි, පොලිස් මූලස්ථානයේ තොරතුරුවලට අනුව මෙම සැකකරුවන් සම්බන්ධ නඩු 113කට අදාළ විමර්ශනවලදී රුපියල් මිලියන 6,000කට වැඩි වටිනාකමක දේපළ සහ වත්කම් තහනම් කර තිබේ. එහි නිශ්චිත වටිනාකම රුපියල් 6,000,154,630.75කි.
ඉන් රුපියල් මිලියන 5,423ක වත්කම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 102 දෙනෙකුට අයත් වන අතර, රුපියල් මිලියන 209ක වත්කම් සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනෙකුට අයත් බව සඳහන් වේ.
මීට අමතරව, පිරමීඩ වංචා, ළමා අපයෝජන සහ පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලට සම්බන්ධ පුද්ගලයන් අට දෙනෙකුට අයත් රුපියල් මිලියන 367ක වත්කම්ද අත්අඩංගුවට ගෙන තිබේ.
තහනම් කළ වත්කම් අතර:
- රන් කිලෝග්‍රෑම් 2ක් සහ ග්‍රෑම් 1,404ක්
- ඉඩම් අක්කර 136ක්
- නිවාස 55ක්
- වාහන 142ක්
ඇතුළත් බව පොලිස් දත්තවල සඳහන් වේ.
ඉන්ටර්පෝල් රතු නිවේදන 236ක්
යළි ශ්‍රී ලංකාවට ගෙන්වාගත් සැකකරුවන් 66 දෙනාගෙන් 28 දෙනෙකුට ඉන්ටර්පෝල් රතු නිවේදන නිකුත් කර තිබූ අතර, අනෙක් 38 දෙනාට එවැනි නිවේදන නිකුත් කර නොතිබූ බව වාර්තා වේ.
2024 සැප්තැම්බර් මාසයේ සිට මේ දක්වා සැකකරුවන් විදේශයන්ගෙන් ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසියේ ඉල්ලීම මත නව රතු නිවේදන 110ක් නිකුත් කර තිබේ.
අගෝස්තු 18 වන විට ශ්‍රී ලංකා පොලිසිය විසින් ඉන්ටර්පෝල් හරහා නිකුත් කර ඇති සමස්ත රතු නිවේදන සංඛ්‍යාව 236ක් වන අතර, ඉන් 96ක් සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධයෙන් නිකුත් කර ඇත.
පොලිස් දත්ත අනුව එම සැකකරුවන්ගෙන් 35 දෙනෙකු විදේශයන්හි පදිංචිව සිටින බවට හඳුනාගෙන තිබේ.
එම පිරිස අතර:
- එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 18 දෙනෙකු
- ඉන්දියාවේ 11 දෙනෙකු
- එක්සත් රාජධානියේ එක් අයෙකු
- ප්‍රංශයේ එක් අයෙකු
- රුසියාවේ එක් අයෙකු
- කැනඩාවේ එක් අයෙකු
- ඉතාලියේ එක් අයෙකු
සිටින බව පොලිසිය සඳහන් කරයි.


