යාල ජාතික උද්‍යානයේ පස්වැනි කලාපය තුළ නීති විරෝධී දඩයම් කිරීමක් සිදු කළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
අදාළ සිද්ධිය අගෝස්තු 10 වැනිදා පස්වරුවේ වෙහෙරගල ප්‍රදේශයේදී සිදුව ඇති අතර, එය පටිගත කළ සෆාරි ජීප් රථ රියදුරෙකු එදිනම එම වීඩියෝව පස්වැනි කලාපයේ භාරකරු වෙත භාරදී තිබේ.
ඒ අනුව අගෝස්තු 11 සහ 12 යන දිනවල පරීක්ෂණ සිදු කළද, සැකකරු සොයා ගැනීමට නිලධාරීන්ට හැකි වී නොමැත.
පසුව සිදු කළ විමර්ශනවලදී සැකකරු ඔහු සාමාන්‍යයෙන් පදිංචිව සිටින ප්‍රදේශයෙන් පිටව ගොස් ඇති බව අනාවරණය වී ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වනජීවී නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් සිටින බව දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
අදාළ සැකකරු මීට පෙරද නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති පුද්ගලයෙකු බවද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවසීය.
එම නඩුවේදී වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය ඔහුට රුපියල් 150,000ක දඩයක් නියම කර තිබේ. දඩ මුදල ගෙවීමට නොහැකි වීම හේතුවෙන් ඔහු මාස තුනක කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇති අතර, ඔහුට වසර දෙකක සිර දඬුවමක් වසර පහකට අත්හිටුවා තිබූ බවද සඳහන් වේ.
නව සිද්ධිය සම්බන්ධයෙන්ද වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.
දඩයම්කරු ඇතුළු පිරිසක් දිවා කාලයේදී යාල ජාතික උද්‍යානයේ පස්වැනි කලාපයට ඇතුළු වී නීති විරෝධී ක්‍රියා සිදු කර කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයකින් තොරව පිටව ගොස් ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක් හේතුවෙන් මෙම සිද්ධිය පිළිබඳව මහජන අවධානය යොමුව තිබිණි.


