හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස පිහිටි මිරිහාන, ජෙස්වෙල් පෙදෙස හන්දියේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු ටී 56 ගිනි අවියකින් සෙසු පොලිස් සැරයන්වරයෙකුට වෙඩි තැබීමට උත්සාහ කළ බව කියන පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ මිරිහාන පොලිස් ස්ථානයේ සේවය කරන මෙම පොලිස් නිලධාරියා පරණ කොට්ටාව පාරේ ජෙස්වෙල් හන්දියේ තවත් පොලිස් කොස්තාපල්වරයකු සහ සැරයන්වරයකු සමඟ පාර අයිනේ මුරපොළක රාජකාරියේ යෙදී සිටි බව ය.
රාජකාරියේ යෙදී සිටියදී අදාළ පොලිස් නිලධාරියාට නින්ද ගොස් ඇති බවත්, රාජකාරියේ දී සැළකිලිමත් වන ලෙස පොලිස් සැරයන්වරයා ඔහුට මතක් කර දුන් බවත් වාර්තා විය.
තම ජ්‍යෙෂ්ඨයාගෙන් මේ බව දැනගත් ඔහු කෝපයට පත් වී සැරයන්වරයා දෙසට තම ප්‍රහාරක රයිෆලය එල්ල කළ බව පැවසෙන නමුත් කිසියම් විපතක් සිදුවීමට පෙර අසල සිටි පොලිස් පරීක්ෂකවරයකු විසින් එම අවිය වහාම උදුරා ගන්නා ලදී.
සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන පොලිසිය පරීක්ෂණ පවත්වයි.


