මුල් ළමාවිය සංවර්ධන හා දිවා සුරැකුම් මධ්‍යස්ථානවල ළමුන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම පිළිබඳ මෑත කාලීන උත්සුකයන් සැලකිල්ලට ගනිමින් නීතිමය සහ ප්‍රතිපත්තිමය ප්‍රතිපාදන තවදුරටත් පුළුල් කර දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවක් පවතින බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පැවසුවාය.
ඇය මේ අදහස් පළ කළේ මුල් ළමාවිය සංවර්ධන ජාතික ලේකම් කාර්යාලය සමඟ පසුගියදා පැවැති හමුවකදීය.
පෙර පාසල් ඇතුළු පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ලියාපදිංචි කිරීම හා නියාමනය කිරීම පළාත් සභා යටතේ ස්ථාපිත පළාත් පෙරපාසල් ඒකකවලට පැවරෙන අතර ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පළාත් පරිවාස දෙපාර්තමේන්තු යටතේ ලියාපදිංචි කර ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මගින් නියාමනය කරනු ලබන බව ඇමැතිවරයා කීය.
එවැනි මධ්‍යස්ථාන ක්‍රියාත්මක කිරීම සඳහා ලියාපදිංචි වීම අනිවාර්ය වුවද, අනෙකුත් අධ්‍යාපන ආයතන සහ ව්‍යාපාර සමඟ එක්ව ඇතැම් මධ්‍යස්ථාන නිසි ලියාපදිංචියකින් තොරව ක්‍රියාත්මක වීම හේතුවෙන් නියාමන ක්‍රියාවලිය සංකීර්ණ වී ඇති බව බලධාරීහු පෙන්වා දුන්හ.
පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීම සහ පවත්වාගෙන යාම සඳහා පවතින සහ යෝජිත ප්රමිතීන් හිමිකරුවන්ට, භාරකරුවන්ට, ගුරුවරුන්ට සහ දෙමාපියන්ට දැනුම් දෙන අතර, ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා කාර්යක්ෂම මාර්ගගත ලියාපදිංචි කිරීමේ ක්‍රමයක් හඳුන්වා දෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.


