පිළියන්දල-කැස්බෑව බයිපාස් මාර්ගයේ ගංවතුර අවදානම අඩු කිරීමට නව ව්‍යාපෘතියකට කැබිනට් අනුමැතිය

පිළියන්දල-කැස්බෑව බයිපාස් මාර්ගය ආශ්‍රිතව වැසි ජලය බැස යාම විධිමත් කිරීම සහ පරිසර තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා නව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

නාගරීකරණය හේතුවෙන් ප්‍රදේශයේ ස්වාභාවික ජල ප්‍රවාහ රටාවන් වෙනස් වී ගංවතුර අවදානම ඉහළ යාම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු සැලකිල්ලට ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මාර්ග අංක 120 ලෙස හැඳින්වෙන පිළියන්දල-කැස්බෑව බයිපාස් මාර්ගය ආශ්‍රිතව පසුගිය දශකය තුළ සිදුකළ පිළියන්දල බස් නැවතුම්පොළ ඉදිකිරීම ඇතුළු විවිධ නාගරික සංවර්ධන කටයුතු හේතුවෙන් ප්‍රදේශයේ ස්වාභාවික ජලාපවහන රටාවන් සැලකිය යුතු ලෙස වෙනස් වී ඇති බව නිලධාරීන් පෙන්වා දී තිබේ.

විශේෂයෙන් පහත් බිම්වල පිහිටි කුඹුරු ඉඩම් ගොඩ කිරීම හේතුවෙන් වැසි ජලය ස්වාභාවිකව රඳවා ගැනීමට පස සතු හැකියාව අඩුවී ඇති බව සඳහන් වේ. ඒ හේතුවෙන් මතුපිටින් ගලා යන ජල ප්‍රමාණය ඉහළ ගොස් ඇති අතර, සුළු වර්ෂාපතනයකදී පවා ගංවතුර තත්ත්ව ඇතිවීමේ අවදානම වැඩි වී තිබේ.

මෙම ගැටලු විසඳීම සඳහා නව ව්‍යාපෘතිය යටතේ,

  • පවතින ජලාපවහන පද්ධති වැඩිදියුණු කිරීම,
  • ඇළ මාර්ග සඳහා බැමි ඉදිකිරීම,
  • බෝක්කු ප්‍රතිසංස්කරණය කිරීම සහ නව බෝක්කු ඉදිකිරීම,
  • ජලය රඳවා තබා ගත හැකි ප්‍රදේශ ස්ථාපිත කිරීම,
  • පරිසර සංවේදී ප්‍රදේශ හඳුනාගෙන ඒවා නම් කිරීම

යන කටයුතු සිදු කිරීමට නියමිතය.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *