පාසල්වලින් 40%කට වඩා ඩෙංගු බෝවන ස්ථාන

ශ්‍රී ලංකාව පුරා සිදුකළ ඩෙංගු පරීක්‍ෂණවලදී පාසල් පරිශ්‍ර තුළ මදුරුවන් බෝවන ස්ථාන බහුලව පවතින බව අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

සතිපතා පැවැත්වෙන කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් වෛද්‍ය ජයතිස්ස ප්‍රකාශ කළේ පාසල් පද්ධතිය තුළ පරීක්ෂාවට ලක් කළ ස්ථානවලින් 41%ක පමණ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන තිබෙන බව අනාවරණය වූ බවයි.

මෙම ගැටලුවේ පුලුල් ස්වභාවය ඉස්මතු කරමින් ආගමික ස්ථානවලින් 28%ක සහ කර්මාන්ත පරිශ්‍රවලින් 26%ක අභිජනන ස්ථාන ද පරීක්ෂා කිරීම්වලින් අනාවරණය වූ බව ඔහු පැවසීය.

විශේෂයෙන් දිස්ත්‍රික්ක 14ක ඩෙංගු තත්ත්වය උග්‍ර වී ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා, දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතින බවට අනතුරු ඇඟවීය.

වෛද්‍ය ජයතිස්ස පවසන පරිදි බස්නාහිර සහ දකුණු පළාත්වල මෙන්ම මධ්‍යම පළාතේ මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවලත්, බදුල්ල, මඩකලපුව දිස්ත්‍රික්කවලත්, වයඹ පළාතේ දිස්ත්‍රික්ක දෙකකින් සහ සබරගමුව පළාතේ දිස්ත්‍රික්ක දෙකෙහිම රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි.

දැනට ක්‍රියාත්මක ඩෙංගු මර්දන වැඩසටහනේ සාර්ථකත්වය රඳාපවතින්නේ සමාජයේ සියලුම අංශවල ක්‍රියාකාරී දායකත්වය මත බවත්, මදුරුවන් බෝවන ස්ථාන තුරන් කිරීමට සහ රෝග ව්‍යාප්තිය මැඩලීමට සම්බන්ධීකරණයෙන් කටයුතු කළ යුතු බවත් ඔහු අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *