පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා, අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් වූ චෝදනා මාලාව පිළිබඳ පැහැදිලි කිරීමක් ලබාදෙන ලෙස කථානායක ජගත් වික්‍රමරත්න මහතාගෙන් ලිඛිතව ඉල්ලා තිබේ.
ජයසේකර මහතා කථානායකවරයා වෙත යොමු කළ ලිපියේ සඳහන් කර ඇත්තේ, පසුගිය දිනවල පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු විසින් අගවිනිසුරුවරයා සම්බන්ධයෙන් බරපතළ කරුණු ඉදිරිපත් කර ඇති බවයි.
එම චෝදනා අතර අගවිනිසුරුවරයාගේ පවුලේ වත්කම්, පෞද්ගලික ලේඛන සහ එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරට අදාළ වන්දි නඩුව සම්බන්ධයෙන් ඔහුගේ භූමිකාව පිළිබඳ කරුණු ඇතුළත් බව මන්ත්‍රීවරයා පෙන්වා දී තිබේ.
ඔහු අවධානය යොමු කළ ප්‍රධාන චෝදනා අතර,
- අගවිනිසුරුවරයාගේ පුත්‍රයාට සම්බන්ධ බව කියන රුපියල් මිලියන 185ක වටිනාකමකින් යුත් වත්කම් සහ කොළඹ පිහිටි සුඛෝපභෝගී නිවසක් අත්පත් කර ගැනීම,
- වත්කම් ප්‍රකාශ සහ එම වත්කම් සඳහා මුදල් ලැබුණු මූලාශ්‍ර පිළිබඳ ප්‍රශ්න,
- උප්පැන්න සහ විවාහ සහතික ඇතුළු පෞද්ගලික ලේඛන සම්බන්ධයෙන් මතුව ඇති සැකයන්,
- එක්ස්ප්‍රස් පර්ල් නඩුවට අදාළ අධිකරණ කටයුතු ප්‍රමාද වීම පිළිබඳ කරුණු,
- පවුලේ වත්කම් සහ වන්දි ලබාගැනීමේ ක්‍රියාවලිය අතර අනවශ්‍ය බලපෑමක් පැවති බවට එල්ල වන චෝදනා
ඇතුළත් වේ.
කෙසේ වෙතත්, මෙම චෝදනාවල සත්‍යතාව සම්බන්ධයෙන් තමන් කිසිදු නිගමනයකට පැමිණ නොමැති බව ජයසේකර මහතා අවධාරණය කර තිබේ.
එම චෝදනා නොසලකා හැරීම අධිකරණ පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය බිඳවැටීමට හේතු විය හැකි බව ඔහු පෙන්වා දී ඇත.
චෝදනා සත්‍ය බව තහවුරු වුවහොත් ඒවා අධිකරණ ස්වාධීනත්වය, වෘත්තීය ආචාරධර්ම සහ නීතියේ ආධිපත්‍යය සම්බන්ධයෙන් බරපතළ ගැටලු මතු කරන බැවින්, ස්වාධීන සහ බලයලත් ආයතන මගින් විමර්ශනයක් සිදු කළ යුතු බවද මන්ත්‍රීවරයා සඳහන් කර තිබේ.
එමෙන්ම චෝදනා අසත්‍ය නම්, ඒවා පාර්ලිමේන්තුවේදී ප්‍රසිද්ධියේ ඉදිරිපත් කිරීමෙන් අගවිනිසුරුවරයාගේ කීර්තිනාමයට සහ අධිකරණයේ ගෞරවයට බරපතළ හානියක් සිදුවිය හැකි බව ඔහු පෙන්වා දී තිබේ.
ඒ අනුව ජයසේකර මහතා කථානායකවරයාගෙන් විමසා ඇත්තේ,
- මෙම චෝදනා සනාථ කිරීමට අදාළ ලේඛන හෝ සාක්ෂි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේද,
- ඒ සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් ආරම්භ කර තිබේද,
- කරුණු ස්වාධීන විමර්ශන ආයතන වෙත යොමු කිරීමට කටයුතු කරන්නේද,
- එක්ස්ප්‍රස් පර්ල් නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව හෝ වෙනත් රාජ්‍ය ආයතන නිල ප්‍රතිචාර ලබාදී තිබේද
යන්න පිළිබඳවයි.
මෙම ඉල්ලීම අගවිනිසුරුවරයාට හෝ අධිකරණ පද්ධතියට අගෞරව කිරීමේ අරමුණින් නොවන බව දයාසිරි ජයසේකර මහතා අවධාරණය කර තිබේ.
චෝදනා සත්‍ය නම් යුක්තිය තහවුරු කිරීමත්, ඒවා අසත්‍ය නම් අධිකරණ පද්ධතියේ ගෞරවය සහ විශ්වාසනීයත්වය ආරක්ෂා කිරීමත් අත්‍යවශ්‍ය බැවින් මේ පිළිබඳ පැහැදිලි කිරීමක් අවශ්‍ය බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.





