නුවරඑළියේ අයහපත් කාලගුණයෙන් 6ක් අතුරුදන්: 2,331කට බලපෑම්

අධික වර්ෂාව සහ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුද්ගලයන් හයදෙනෙකු අතුරුදන්ව ඇති අතර, දිස්ත්‍රික්කය පුරා පුද්ගලයන් 2,331 දෙනෙකුට බලපෑම් එල්ල වී තිබේ.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය සඳහන් කළේ, අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් 581කට අයත් පුද්ගලයන් 2,331 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි.

ඉන් පුද්ගලයන් 1,734 දෙනෙකු සුබසාධන මධ්‍යස්ථාන හතකට යොමුකර තිබේ.

අතුරුදන්වූවන් අතරින් දෙදෙනෙකු ගංවතුරට හසුව ගසාගෙන ගොස් ඇති බවට සැක කෙරෙන අතර, නායයෑමක් හේතුවෙන් තවත් සිව්දෙනෙකු අතුරුදන්ව ඇති බව දිස්ත්‍රික් ලේකම්වරිය සඳහන් කළාය.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තවත් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *