දකුණු මුහුදේ යාත්‍රා කරමින් තිබූ විදේශීය නෞකාවක නැවියෙකුට අනතුරක්: නාවික හමුදාවෙන් මැදියම් රැයේ ක්ෂණික මුදාගැනීමේ මෙහෙයුමක්

ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වූ දකුණු මුහුදු තීරයේ යාත්‍රා කරමින් තිබූ විදේශීය වෙළෙඳ නෞකාවක සේවය කරමින් සිටියදී බරපතළ තුවාල ලැබූ නැවියෙකු, ගොඩබිම වෙත රැගෙන විත් රෝහල්ගත කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (01) අලුයම කඩිනම් මුදාගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය.
නාවික හමුදා මූලස්ථානය සඳහන් කළේ, ශ්‍රී ලංකාවට අයත් සාගරික සෙවීම් සහ මුදාගැනීමේ කලාපය (Search and Rescue Region) ඔස්සේ යාත්‍රා කරමින් තිබූ මාෂල් දූපත් (Marshall Islands) රාජ්‍යයේ ධජය රැඳි ‘MV Spirit of Tokyo’ නමැති භාණ්ඩ ප්‍රවාහන නෞකාව තුළ සිදුවූ අනතුරකින් මෙම නැවියාගේ හිසට බරපතළ හානි සිදුව තිබූ බවයි.
නැවියාගේ ජීවිතය බේරාගැනීම සඳහා හදිසි ප්‍රතිකාර ලබාදීමට ඔහුව ගොඩබිමට රැගෙන ඒමට සහාය වන ලෙස එම නෞකාවේ කපිතාන්වරයා කොළඹ පිහිටි සාගරික මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (MRCC Colombo) අමතමින් හදිසි ඉල්ලීමක් සිදුකර තිබිණි.
වේග ප්‍රහාරක යාත්‍රාවකින් රෝහලට
ඉල්ලීම ලද වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව, මුලින්ම නෞකාව වෙත අවශ්‍ය හදිසි ප්‍රථමාධාර සහ වෛද්‍ය උපදෙස් ලබාදීමට පියවර ගත් අතර, රෝගියා රැගත් නෞකාව ගාල්ල වරාය ආසන්නයට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළේය.
අනතුරුව දකුණු නාවික විධානයට අයත් ‘P 451’ දරන වේග ප්‍රහාරක යාත්‍රාවක් (Fast Attack Craft) කඩිනමින් යොදවා, ගැඹුරු මුහුදේදී අදාළ තුවාලකරු නාවික හමුදා භාරයට ගෙන ගාලු වරාය වෙත ආරක්ෂිතව රැගෙන ඒමට කටයුතු කෙරිණි.
එසේ රැගෙන ආ විදේශීය නැවියා, නෞකාවේ දේශීය නියෝජිත ආයතනයේ සහයෝගය ඇතිව වැඩිදුර හදිසි ප්‍රතිකාර සඳහා ගාල්ල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.
ශ්‍රී ලංකාවට අයත් සෙවීම් සහ මුදාගැනීමේ සාගර කලාපය මෙන්ම ඒ අවට ජාත්‍යන්තර මුහුදු තීරය ඔස්සේ යාත්‍රා කරන නෞකාවන්හි කාර්ය මණ්ඩලයට සහ ධීවර ප්‍රජාවට මුහුණදීමට සිදුවන ඕනෑම සාගරික හදිසි ආපදා තත්ත්වයකදී කඩිනමින් ප්‍රතිචාර දැක්වීමට තමන් නිරන්තර සුපරීක්ෂාකාරීත්වයෙන් පසුවන බව ශ්‍රී ලංකා නාවික හමුදාව වැඩිදුරටත් අවධාරණය කරයි.

