තායිලන්ත නියෝජ්ය අගමැතිනි සුෆාජී සුතුම්පුන්ගේ මෑතකාලීන ශ්රී ලංකා සංචාරයේදී ඇයට රාජ්යතාන්ත්රික පිළිගැනීම සහ ආරක්ෂාව ලබා නොදුන් බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් වහාම පැහැදිලි කිරීමක් ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්ෂය (එජාප) රජයෙන් ඉල්ලා තිබේ.
මිහින්තලේ මිහිඳු මහා සෑයේ කොත් වහන්සේ නිරාවරණය කිරීමේ උත්සවයට සහභාගී වීම සඳහා මෙරටට පැමිණි තායිලන්ත නියෝජ්ය අගමැතිනියට රාජ්යතාන්ත්රික සම්ප්රදායට අනුකූල පිළිගැනීමක් හෝ ආරක්ෂක විධිවිධාන සලසා නොතිබුණේ මන්දැයි එජාපය අද (19) නිකුත් කළ නිවේදනයකින් ප්රශ්න කර ඇත.
මෙම සිදුවීම ජාතික ජන බලවේගය (NPP) රජයේ විදේශ ප්රතිපත්තියේ පවතින දුර්වලතා පිළිබිඹු කරන බවට ද එම පක්ෂය චෝදනා කළේය.
විදේශීය රාජ්ය නායකයන් හෝ ප්රමුඛ පෙළේ නියෝජිතයන් නිල හෝ පෞද්ගලික සංචාරයක නිරත වුවද, ඔවුන්ට රාජ්යතාන්ත්රික ආචාර සත්කාර සහ ආරක්ෂක විධිවිධාන සැලසීම ශ්රී ලංකාවේ සාමාන්ය සම්ප්රදාය බව එජාපය පෙන්වා දී තිබේ.
ධුරයෙන් ඉවත් වූ පසු පෞද්ගලික සංචාරයක් සඳහා ශ්රී ලංකාවට පැමිණි හිටපු බ්රිතාන්ය අගමැති ඩේවිඩ් කැමරන්ට විශේෂ ආරක්ෂාවක් සලසා තිබූ බවට වාර්තා වූ සිදුවීම ද පක්ෂය මෙහිදී උදාහරණයක් ලෙස සඳහන් කර ඇත.
තායිලන්ත නියෝජ්ය අගමැතිනි සුෆාජී සුතුම්පුන් මෙම ආගමික උත්සවයට සහභාගී වූයේ තායිලන්ත නියෝජ්ය අගමැතිනිය ලෙස සිය නිල තත්ත්වයෙන් ප්රධාන ආරාධිතයා ලෙස බව ද එජාපය අවධාරණය කර තිබේ.
ශ්රී ලංකාව සහ තායිලන්තය අතර දිගුකාලීන රාජ්යතාන්ත්රික හා ආගමික සබඳතා පවතින බව පෙන්වා දුන් එජාපය, උත්සවය සඳහා කොත් වහන්සේ සහ චූඩා මාණික්යය තායිලන්තයෙන් මෙරටට ගෙන ඒමට ද නියෝජ්ය අගමැතිනිය පහසුකම් සලසා තිබූ බව සඳහන් කළේය.
එබැවින්, මෙරටට පැමිණි තායිලන්ත නියෝජ්ය අගමැතිනියට නිසි රාජ්යතාන්ත්රික පිළිගැනීමක් සහ ආරක්ෂාවක් ලබා නොදුන්නේ මන්දැයි පැහැදිලි කරන ලෙස බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්යවරයාගෙන් එජාපය ඉල්ලා තිබේ.



