ගල්කිස්සේ නීතිවිරෝධී රූපවාහිනී සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් වටලා විදේශිකයෙකු අත්අඩංගුවට

නීති විරෝධී සන්නිවේදන උපකරණ භාවිතා කරමින් පවත්වාගෙන ගිය රූපවාහිනී සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් වටලා විදේශීය ජාතිකයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

නීති විරෝධී සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු මත ගල්කිස්ස පොලිස් කොට්ඨාශය තුළ අත්තිඩිය පාරේ පිහිටි ගොඩනැගිල්ලක මෙම වැටලීම සිදු කරන ලදී. මෙහෙයුම සිදු කිරීමට පෙර පොලිසිය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් සෝදිසි වරෙන්තුවක් ලබාගෙන තිබුණි.

විදුලි සංදේශ නියාමන කොමිසමේ සහ ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් එක්ව මෙම වැටලීම සිදු කරන ලදී.

නීති විරෝධී ලෙස රටට ආනයනය කරන ලද සන්නිවේදන උපකරණ භාවිතා කරමින් නීති විරෝධී රූපවාහිනී සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් කළුබෝවිල ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි මාලදිවයින් ජාතිකයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

වැටලීමේදී රුපියල් මිලියන 10 ක් පමණ වටිනා සන්නිවේදන උපකරණ තොගයක් අත්අඩංගුවට ගන්නා ලදී.

සැකකරු සහ අත්අඩංගුවට ගත් උපකරණ ගල්කිස්ස පොලිස් ස්ථානයට භාර දෙන ලද අතර වැඩිදුර පරීක්ෂණ දිගටම කරගෙන යයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *