ගංවතුරෙන් පීඩාවට පත් නේපාලයට ශ්‍රී ලංකාවෙන් ආපදා සහන කණ්ඩායම්

දරුණු ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් නේපාලයේ ප්‍රදේශවලට සහන සැලසීම සඳහා ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකාවෙන් ආපදා සහන කණ්ඩායම් යැවීමට සැලසුම් කර ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.

අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සාමාජිකයන්ගෙන් සමන්විත සහන කණ්ඩායම් නේපාලයට යැවීමට රජය තීරණය කර ඇති බවයි.

කෙසේ වෙතත්, එම කණ්ඩායම්වල ප්‍රමාණය සහ සංයුතිය සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා පැවැත්වෙමින් පවතින බවද ඔහු සඳහන් කළේය.

“එහි අවශ්‍යතා අනුව සහන කණ්ඩායම් යවන ආකාරය පිළිබඳව අපි තවමත් සැලසුම් කරමින් සිටිනවා,” යනුවෙන් ඔහු පැවසීය.

යැවීමට නියමිත නිලධාරීන් සංඛ්‍යාව සහ සහන කණ්ඩායම්වල ස්වභාවය මෙතෙක් අවසන් වශයෙන් තීරණය කර නොමැති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉදිරි දින කිහිපය තුළ ඒ සම්බන්ධ කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කරන බවද ඔහු පැවසීය.

එමෙන්ම, නේපාලයේ සිදුවූ ආපදා තත්ත්වයෙන් පසුව එරටට ඇමරිකානු ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් ලබාදීම සඳහාද රජය මූලික කටයුතු සිදුකරමින් සිටින බව ජයසේකර මහතා සඳහන් කළේය.

“නේපාලයේ සිදුවීම අවාසනාවන්ත සිදුවීමක්. ජනාධිපතිවරයාද සිය ශෝකය පළ කර තිබෙනවා,” යනුවෙන් ඔහු පැවසීය.

දකුණු ආසියානු කලාපයේ සමීප රටක් ලෙස ශ්‍රී ලංකාව නේපාලයේ පවතින අර්බුදකාරී තත්ත්වයට සංවේදීව ප්‍රතිචාර දක්වමින් අවශ්‍ය සහාය ලබාදෙන බවද නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *