කොළඹ වරායේ ක්රියාත්මක කිරීමට යෝජිත ඇමෙරිකානු ඩොලර් මිලියන 280ක ලොජිස්ටික් ව්යාපෘතිය ඉදිරියට ගෙන නොයන බව ශ්රී ලංකා වරාය අධිකාරිය තහවුරු කර තිබේ. ඒ, ඒකාබද්ධ ව්යාපෘතියට සම්බන්ධ චීන සමාගම මීට පෙර එය අත්හැර දැමීමට තීරණය කළ බව නිවේදනය කිරීමෙන් අනතුරුවය.
ඊයේ (19) නිකුත් කළ නිවේදනයකින් වරාය අධිකාරිය සඳහන් කළේ, South Asia Commercial and Logistics Hub (SACLH) සමාගමේ කොටස් හිමියන් බාහිර තත්ත්වයන්, වාණිජ කරුණු සහ තම තමන්ගේ අවශ්යතා සමාලෝචනය කිරීමෙන් පසු ව්යාපෘතිය ඉදිරියට ගෙන නොයාමට තීරණය කර ඇති බවයි.
2023 වසරේ පිහිටුවන ලද මෙම හවුල් ව්යාපාරයේ චීනයේ China Merchants Port Holdings Company Limited සමාගමට එහි පූර්ණ අනුබද්ධ සමාගමක් හරහා 70%ක කොටස් හිමිකාරිත්වයක් හිමිව තිබිණි. ශ්රී ලංකා වරාය අධිකාරියට සහ Access Engineering PLC සමාගමට එක් එක් ආයතනය සඳහා 15% බැගින් කොටස් හිමිව තිබුණි.
ඇමෙරිකානු ඩොලර් මිලියන 280ක පමණ ආයෝජනයකින් වර්ග මීටර් 150,000ක බිම් ධාරිතාවක් සහිත නවීන ලොජිස්ටික් පහසුකමක් ඉදිකිරීම මෙම ව්යාපෘතියේ සැලසුම විය.
කොටස් හිමිකාරිත්වයට අනුපාතිකව කොටස් හිමියන් තිදෙනාට ඇමෙරිකානු ඩොලර් මිලියන 29.8ක පමණ කොටස් ආයෝජන මුදල ආපසු ගෙවීමට නියමිත බවද වරාය අධිකාරිය තහවුරු කර තිබේ. එම ගෙවීම් නියාමන අවශ්යතා සහ මෙහෙයුම් වියදම්වලට යටත්ව සිදු කෙරෙනු ඇත.
කෙසේ වෙතත්, රාජ්ය-පෞද්ගලික හවුල්කාරිත්ව (PPP) ක්රමවේදය යටතේ කොළඹ වරායේ නව ලොජිස්ටික් මධ්යස්ථානයක් සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව වරාය අධිකාරිය නිවේදනය කළේය. ඒ සඳහා ආයෝජකයන් තෝරාගනු ලබන්නේ තරගකාරී ලංසු කැඳවීමේ ක්රියාවලියක් හරහාය.
කලින් පැවති හවුල් ව්යාපාරය අත්හිටුවීමෙන් වරාය තුළ නවීන ලොජිස්ටික් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා තමන් දක්වන කැපවීමට කිසිදු බලපෑමක් සිදු නොවන බවද වරාය අධිකාරිය සඳහන් කළේය.
පෞද්ගලික ආයෝජන ආකර්ෂණය කරගැනීම, වරායේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ කලාපීය සමුද්රීය හා ලොජිස්ටික් මධ්යස්ථානයක් ලෙස කොළඹ වරායේ ස්ථානය තවදුරටත් ශක්තිමත් කිරීම නව සංවර්ධන ක්රමවේදයේ අරමුණු බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.


