කොළඹ වරාය නගරයේදී චීන ජාතිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටින තවත් චීන ජාතික සැකකරුවෙකු සොයා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය ඉල්ලා තිබේ.
පොලිසිය සඳහන් කළේ 2026 ජූලි 23 වැනිදා කොළඹ වරාය නගර ප්‍රදේශයේ රැඳී සිටි චීන ජාතිකයන් තිදෙනෙකුට පහරදීමක් සිදුව ඇති අතර, ඉන් එක් අයෙකු පසුව පැහැරගෙන ගොස් ඝාතනය කර ඇති බවයි.
මෙම අපරාධයට චීන ජාතිකයන් තිදෙනෙකු සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වීමෙන් අනතුරුව කොළඹ දිස්ත්‍රික් අපරාධ කොට්ඨාසය විමර්ශන ආරම්භ කර තිබේ.
සැකකරුවන් තිදෙනාගෙන් වයස අවුරුදු 35ක් සහ 43ක් වන සැකකරුවන් දෙදෙනෙකු අගෝස්තු 28 වැනිදා සීගිරිය පොලිස් බලප්‍රදේශයේ ලැගුම්හලක රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.
එම සැකකරුවන් දෙදෙනා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කළේය.
තුන්වැනි සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක වන අතර, ඔහු සිටින ස්ථානය සොයා ගැනීමට උපකාරී වන තොරතුරු ලබාදෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
මෙම සැකකරු සම්බන්ධයෙන් තොරතුරු දන්නා ඕනෑම අයෙකුට කොළඹ දිස්ත්‍රික් අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා 071 859 1735 යන දුරකථන අංකයෙන් සම්බන්ධ කර තොරතුරු ලබාදිය හැකිය.


