චෙල්ම්ස්ෆර්ඩ්හි පැවති T20 පුහුණු තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9කින් පරාජය කිරීමට එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමත් විය.
ශ්‍රී ලංකාව ලබාදුන් ලකුණු 118ක ඉලක්කය එංගලන්ත ලයන්ස් කණ්ඩායම පන්දු 76ක් ඉතිරිව තිබියදී පන්දුවාර 7.2කදී කඩුල්ලක් පමණක් දැවී පසුකර ගියේය.
කාසියේ වාසියෙන් අනතුරුව පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 16.4කදී ලකුණු 117කට සියලු දෙනා දැවී ගියේය.
ශ්‍රී ලංකා ඉනිමේ ඉහළ පෙළේ පිතිකරුවන් දැඩි අසාර්ථකත්වයකට පත්වීම හේතුවෙන් ලකුණු 49ක් වන විට කඩුලු 6ක් අහිමිව තිබිණි. පසුව ලකුණු 78දී කඩුලු 9ක් දැවී ශ්‍රී ලංකාව තවත් අසීරු තත්ත්වයකට පත්විය.
කෙසේ වෙතත් තරින්දු රත්නායක පන්දු 37කදී ලකුණු 48ක් රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීමට සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ අතර, කුසල් මෙන්ඩිස් පන්දු 22කදී ලකුණු 29ක් ලබා ගත්තේය.
එංගලන්ත ලයන්ස් පන්දු යවන්නන් අතරින් ලූක් වුඩ් ලකුණු 27කට කඩුලු 4ක් දවාගනිමින් කැපී පෙනුණු අතර, විල් ජැක්ස්, සොනී බේකර් සහ ජෆර් චෝහාන් කඩුලු 2 බැගින් දවා ගත්හ.
ලකුණු 118ක ඉලක්කය හඹා ගිය එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එය කිසිදු අපහසුවකින් තොරව සම්පූර්ණ කිරීමට හැකි විය.
ටොම් බැන්ටන් පන්දු 24කදී නොදැවී ලකුණු 56ක් රැස් කළ අතර, ඇනුරින් ඩොනල්ඩ් පන්දු 8කින් වේගවත් ලකුණු 31ක් ලබා ගත්තේය. විල් ජැක්ස් පන්දු 12කදී නොදැවී ලකුණු 30ක් රැස් කළේය.
එංගලන්ත ලයන්ස් ඉනිමේ එකම කඩුල්ල දුනිත් වෙල්ලාලගේ විසින් දවාගත් අතර, එංගලන්ත ලයන්ස් කණ්ඩායම පන්දු 76ක් ඉතිරිව තිබියදී තරගය ජයග්‍රහණය කළේය.


