ඉන්දු පැසිෆික් ආරක්ෂාව ගැන ශ්‍රී ලංකාවෙන් වැදගත් මැදිහත්වීමක්: ආරක්ෂක ලේකම් කැනඩාවේදී අදහස් දක්වයි

ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයාකොන්ත මහතා, අගෝස්තු 31 සිට සැප්තැම්බර් 2 දක්වා කැනඩාවේ වික්ටෝරියා නුවර පැවති 28 වැනි වාර්ෂික ඉන්දු පැසිෆික් ආරක්ෂක ප්‍රධානීන්ගේ සමුළුවට (CHOD) ශ්‍රී ලංකාව නියෝජනය කළේය.

කලාපීය සහ ජාත්‍යන්තර ආරක්ෂාව සම්බන්ධ ප්‍රධාන කරුණු පිළිබඳ බහුපාර්ශ්වික සාකච්ඡාවලට ආරක්ෂක ලේකම්වරයා එක්වී ඇති අතර, වෙනස් වෙමින් පවතින ආරක්ෂක තත්ත්වයන්, මතුවෙමින් පවතින අභියෝග සහ ඉන්දු පැසිෆික් කලාපයේ හවුල්කරුවන් අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අදහස්ද ඉදිරිපත් කර තිබේ.

මෙවර සමුළුව කැනඩාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ජෙනී කැරිග්නන් සහ එක්සත් ජනපද ඉන්දු පැසිෆික් විධානයේ ආඥාපති අද්මිරාල් සැමුවෙල් ජේ. පපාරෝ යන මහත්වරුන්ගේ සම සත්කාරකත්වයෙන් පැවැත්විණි.

“ගතික ඉන්දු පැසිෆික් පරිසරයක අභියෝගවලට මුහුණ දෙමින් සාමූහික ආරක්ෂාව ශක්තිමත් කිරීම” යන්න මෙවර සමුළුවේ තේමාව විය.

දින තුනක් පුරා පැවති සමුළුවට රටවල් 30කට ආසන්න සංඛ්‍යාවක ආරක්ෂක සහ හමුදා ප්‍රධානීන් සහභාගී වී සාමූහික ආරක්ෂාව සහ කලාපීය සහයෝගීතාව පිළිබඳ අදහස් හුවමාරු කරගෙන තිබේ.

මේ අතර, සමුළුවට සමගාමීව ආරක්ෂක ලේකම් සම්පත් තුයාකොන්ත මහතා සහභාගී වූ රටවල් කිහිපයක ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන් සහ ආරක්ෂක ප්‍රධානීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා මාලාවක්ද පවත්වා ඇත.

එම හමුවලදී දෙරටටම වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා කර ඇති අතර, විශේෂයෙන් හමුදා පුහුණුව, ධාරිතා වර්ධනය, සාගර ආරක්ෂාව, සයිබර් ආරක්ෂාව, ආපදා සඳහා සූදානම් වීම සහ වෘත්තීය හමුදා හුවමාරු වැඩසටහන් ඇතුළු ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අවස්ථා පිළිබඳවද අවධානය යොමු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *