“ආබාධ සහිත සිසුන් වෙනුවෙන් රජය වගකීම භාරගන්නවා” අගමැතිනිය

ආබාධ සහිත සිසුන්ට සමාන අවස්ථා සහ ගෞරවය හිමිවන සියලු දෙනා ඇතුළත් අධ්‍යාපන පද්ධතියක් ගොඩනැගීමේ වගකීම රජය භාරගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

සැප්තැම්බර් 12 වැනිදා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ස්වාමි විපුලානන්ද සෞන්දර්ය අධ්‍යයන ආයතනයේදී පැවති ආබාධ සහිත විශ්වවිද්‍යාල සිසුන් ඇගයීමේ වැඩසටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

අධ්‍යාපන සහ රැකියා අවස්ථා වැඩිදියුණු කිරීම සඳහා රජය ක්‍රියාත්මක කරන වැඩසටහන් කිහිපයක් පිළිබඳවද ඇය එහිදී පැහැදිලි කළාය.

විශ්වවිද්‍යාල නේවාසිකාගාර 55ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් රජය ආරම්භ කර ඇති අතර, එමඟින් සිසුන් 16,000කට පමණ ප්‍රතිලාභ සැලසීමට අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

ආබාධ සහිත සිසුන්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකි විශේෂ පහසුකම් සහිතව මෙම නේවාසිකාගාර සැලසුම් කර ඇති බවද ඇය සඳහන් කළාය.

එමෙන්ම පාසල් සහ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ආබාධ සහිත සිසුන්ට අවශ්‍ය ඩිජිටල් සහ අනෙකුත් සහායක උපකරණ නිෂ්පාදනය කර බෙදාහැරීම සඳහා නියමු ව්‍යාපෘතියක්ද ආරම්භ කර තිබේ.

ආබාධ සහිත සිසුන්ට ආර්ථික වශයෙන් ස්වාධීන වීමට අවශ්‍ය සහාය ලබාදීම සඳහා වෘත්තීය පුහුණු සහ රැකියා වැඩසටහන් හඳුන්වාදෙමින් පවතින බවද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් මට්ටමේ සිටම වෘත්තීය අධ්‍යාපනය සඳහා ප්‍රවේශය පුළුල් කරමින් සිසුන් රැකියා සඳහා වඩාත් හොඳින් සූදානම් කිරීමට කටයුතු කරන බවද ඇය සඳහන් කළාය.

මේ අතර, නැගෙනහිර සහ අග්නිදිග විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ආබාධ සහිත සිසුන් 50 දෙනෙකුට ජනාධිපති අරමුදලේ “සරසවි දිරිය අභිමාන්” වැඩසටහනේ තෙවැනි අදියර යටතේ ඇගයීමේ සහතික සහ එක් අයෙකුට රුපියල් 100,000 බැගින් මූල්‍ය ආධාර ලබාදී තිබේ.

“සෑම කෙනෙකුටම සමානව සහ ගෞරවයෙන් සලකන අධ්‍යාපන පද්ධතියක් ගොඩනැගීම අපගේ උත්සාහයයි. රජයක් ලෙස ආබාධ සහිත සිසුන් වෙනුවෙන් අපි වගකීම භාරගන්නවා” යැයි අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

සියලු දෙනා ඇතුළත් අධ්‍යාපන පද්ධතියක් නිර්මාණය කිරීම රජයේ ජාතික ප්‍රතිපත්තියේ ප්‍රධාන අරමුණක් බවද අමරසූරිය මහත්මිය සඳහන් කළාය.

රටේ සංවර්ධනය සඳහා රජය, රාජ්‍ය නිලධාරීන් සහ පුරවැසියන් එක්ව කටයුතු කළ යුතු බවටද අග්‍රාමාත්‍යවරිය එහිදී ඉල්ලා සිටියාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *