අත්අඩංගුවට ගත් රවී කරුණානායකට ඇප

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව විසින් අද අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් ඇප ලබාදී තිබේ.

අධිකරණය විසින් කරුණානායක මහතාට විදෙස්ගත වීමේ තහනමක්ද පනවා ඇත.

අල්ලස් කොමිසම සඳහන් කළේ, 2015 ජනවාරි 12 සිට 2017 මැයි 22 දක්වා මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලය තුළ කරුණානායක මහතා, එවකට ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිනිය වූ ශමිලා පෙරේරා මහත්මිය සමඟ එක්ව පුද්ගලයන් තිදෙනෙකු කොන්ත්‍රාත් පදනම මත බඳවාගෙන ඇති බවයි.

ඔවුන් දෙදෙනෙකු සම්බන්ධීකරණ නිලධාරීන් ලෙසත්, අනෙක් පුද්ගලයා කළමනාකරණ සහකාරවරයෙකු ලෙසත් මුදල් අමාත්‍යාංශයේ විශේෂ ව්‍යාපෘතියක් යන මුවාවෙන් බඳවාගෙන ඇති බව කොමිසම පැවසීය.

කෙසේ වෙතත්, එම පුද්ගලයන් ජාතික ලොතරැයි මණ්ඩලය වෙනුවෙන් කිසිදු සේවයක් සිදුකර නොමැති බවත්, ඔවුන්ට වැටුප් සහ දීමනා ජාතික ලොතරැයි මණ්ඩලයේ අරමුදලින් ගෙවා ඇති බවත් අල්ලස් කොමිසම සඳහන් කළේය.

මෙම ක්‍රියාව 1994 අංක 20 දරන සංශෝධිත අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ දූෂණ ක්‍රියාවක් ලෙස සැලකෙන බවද කොමිසම පවසයි.

කරුණානායක මහතා අද පස්වරු 1.40ට පමණ අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *