ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ තුන්වැනි අදියර යටතේ ප්‍රතිලාභීන් වෙත ඔප්පු 165ක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පිරිනමා ඇති බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
අගෝස්තු 28 වැනිදා බදුල්ල, පූනාගල ප්‍රදේශයේ පැවති උත්සවයකදී වැඩබලන ඉන්දීය මහ කොමසාරිස් මෛත්‍රී කුල්කර්ණි මහත්මියගේ සහභාගීත්වයෙන් මෙම ඔප්පු පිරිනමා තිබේ.
එම අවස්ථාවේදී ශ්‍රී ලංකා රජය විසින් ඉදිකරන ලද “නවෝදයපුරම්” නිවාස ව්‍යාපෘතියද විවෘත කර තිබේ.
ආපදා හේතුවෙන් නිවාස අහිමි වූ පවුල් 50ක් සඳහා නව නිවාස ලබාදීම නවෝදයපුරම් ව්‍යාපෘතිය යටතේ සිදුකර ඇත.
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ තුන්වැනි අදියර යටතේ ශ්‍රී ලංකාවේ වතු ප්‍රජාවේ පවුල් සඳහා නිවාස 4,000ක් ලබාදී ඇති බවයි.
එම අදියර යටතේ ඉදිකළ අවසන් නිවාස සමූහය 2026 අප්‍රේල් මාසයේදී ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධාක්‍රිෂ්ණන් මහතා විසින් විවෘත කර තිබිණි.
ඉන්දීය නිවාස ව්‍යාපෘතිය සඳහා සමස්තයක් ලෙස ඉන්දීය රජය විසින් ඉන්දීය රුපියල් බිලියන 18.35ක පමණ ප්‍රදාන ආධාර ලබාදීමට කැපවී තිබේ.
මෙම ව්‍යාපෘතියේ පළමු සහ දෙවැනි අදියර යටතේ ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල නිවාස 46,000ක් ඉදිකර තිබේ.
2017 වසරේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලද සිව්වැනි අදියර යටතේ වතු ප්‍රජාව සඳහා තවත් නිවාස 10,000ක් ඉදිකිරීමට නියමිතය.
එහි පළමු නිවාස ඒකක 1,300ක ඉදිකිරීම් මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාවේ සමස්ත සංවර්ධන සහයෝගීතා හවුල්කාරිත්වයේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 7.5 ඉක්මවන අතර, ඊට ඇමරිකානු ඩොලර් මිලියන 880ක පමණ ප්‍රදාන ආධාරද ඇතුළත් වේ.
මෙම සංවර්ධන සහයෝගීතා වැඩසටහන් දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කර තිබේ.


