Semi Luxury බස් අහෝසියි?

මගී ජනතාවගේ මුදල් ගසාකෑම මිස කිසිදු පහසුකමක් නොදෙමින් ක්‍රියාත්මක වන අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අහෝසි කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.

මගී ප්‍රවාහන කළමනාකරණ සේවා විදුලිබල බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රවාහන අමාත්‍යාංශයේ සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිලධාරීන් සමග මෙම කාරණය සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වූ අතර අර්ධ සුඛෝපභෝගී බස්රථවල මහජනතාවට ඇති එකම පහසුව බස්රථ ජනෙල්වලට රෙදි කැබලි එල්ලා තැබීම පමණක් බවද මෙම සාකච්ඡාවේදී අවධාරණය කරනු ලැබීය.

අර්ධ සුඛෝපභෝගී බස්රථ සේවාව සම්බන්ධව ජාතික ගමනාගමන කොමිෂම බස් මගීන් 10000ක් යොදා ගනිමින් සිදුකළ සමීක්ෂණයකදී 100%ක්ම ප්‍රකාශ කර ඇත්තේ අර්ධ සුඛෝපභෝගී බස්රථ සේවාව අහෝසි කළ යුතු බවත් එම සේවාව මගින් කිසිදු පහසුකමක් මහජනතාවට නොලැබෙන බවත්ය. මේ අතරම අර්ධ සුඛෝපභෝගී සේවාව වෙනුවෙන් සාමාන්‍ය බස්රථවලට වඩා වැඩියෙන් මුදල් ගෙවීමට තමන්ට සිදුවන බවත් මගීහු කියා සිටිති.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් අර්ධ සුඛෝපභෝගී (SEMY LUXURY) බස්රථ සේවාව අහෝසි කිරීමට තමන් කටයුතු කරන බව කී අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍යවරයා බස්රථවල අධික ශබ්දයෙන් ගීත වාදනය කරමින් මහජනතාවට හිංසාවන පරිදි ඇතැම් රියදුරන් සහ කොන්දොස්තරවරුන් කටයුතු කිරීම පාලනය සඳහාද වැඩපිළිවෙළක් සකස් කිරීමට ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් දුන්නේය.

ඒ අනුව සුභාවිත ගීත අඩංගු සී.ඩී. තැටි සෑම පුද්ගලික සහ ලංගම බස්රථයකටම ඉදිරි කාලයේ ලබාදීමටද උපදෙස් දුන්නේය.

කෙසේ වුවද SEMY LUXURY නැමැති මහජනතාව රවටා මුදල් ගසාකන බස් රථ සේවාව කෙටි කාලයක් තුළ අනිවාර්යෙන්ම අහෝසි කරන බවද අමාත්‍යවරයා කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *