මහර බන්ධනාගාරයේ තත්ත්වය නිරීක්ෂණයට ගුවන් හමුදාවෙන් හෙලිකොප්ටරයක් සහ ඩ්‍රෝන යානයක්

මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන් තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටරයක් සහ ඩ්‍රෝන යානයක් යොදවා ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කරයි.

මහර බන්ධනාගාරයේ ඊයේ (01) පස්වරුවේ ඇතිවූ නොසන්සුන් තත්ත්වයෙන් රැඳවියන් හත්දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, ඉන් එක් අයෙකු පසුව මියගොස් තිබේ.

වාර්තා අනුව, තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය (STF) යොදවා ඇත.

මේ අතර, රැඳවියන්ගේ ඥාතීන් බන්ධනාගාරය ඉදිරිපිටට රැස්ව ඇති අතර, එහිදීද යම් නොසන්සුන් තත්ත්වයක් ඇතිවී ඇති බව වාර්තා වේ.

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ගුවන් හමුදාව විසින් බෙල් 412 හෙලිකොප්ටරයක් සහ ඩ්‍රෝන යානයක් යොදා බන්ධනාගාරය තුළ තත්ත්වය නිරීක්ෂණය කරන අතර, පරිශ්‍රයේ ගුවන් නිරීක්ෂණ කටයුතු අඛණ්ඩව සිදු කරන බවද සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *