ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ කණ්ඩායම් කිහිපයක් සිය සංචිතවල වෙනස්කම් ප්‍රකාශයට පත් කර ඇති අතර, කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන Play-Off සහ අවසන් මහා තරග සඳහා ප්‍රවේශපත්‍ර අලෙවිය ද ආරම්භ කර තිබේ.
ආබාධයකට ලක්ව තරගාවලියේ ඉතිරි තරගවලින් ඉවත් වූ කුසල් මෙන්ඩිස් වෙනුවට කොළඹ කැප්ස් කණ්ඩායම අශේන් බණ්ඩාර සංචිතයට එක්කර තිබේ.
එමෙන්ම, බංග්ලාදේශ වේගපන්දු යවන ක්‍රීඩක හසන් මහ්මුද් ජාතික කණ්ඩායම් රාජකාරි සඳහා සිය රට බලා පිටත්ව යාම හේතුවෙන්, ඔහු වෙනුවට රිපොන් මොන්ඩෝල් කණ්ඩායමට එක්කර ඇත.
මේ අතර, බංග්ලාදේශ ජාතික කණ්ඩායමට කැඳවීම හේතුවෙන් ටස්කින් අහමඩ් යාපනය කිංග්ස් කණ්ඩායමට එක් නොවන අතර, ඔහු වෙනුවට තව්හිද් හ්‍රිදෝයි නම් කර ඇති අතර, ඔහු මේ වනවිටත් කණ්ඩායමට එක්ව තිබේ.
ආබාධයක් හේතුවෙන් විශේන් හලඹගේ තරගාවලියේ ඉතිරි තරගවලින් ඉවත් වීමත් සමඟ, කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ඔහු වෙනුවට කවිජ ගමගේ සංචිතයට ඇතුළත් කර ඇත.
දඹුල්ල සික්සර්ස් කණ්ඩායමද විදේශීය ක්‍රීඩකයෙකු වෙනස් කර ඇති අතර, ඇෆ්ගනිස්ථාන වේගපන්දු යවන ක්‍රීඩක ෆසාල්හක් ෆාරූකි ජාතික කණ්ඩායම් රාජකාරි සඳහා පිටත්ව යාමෙන් පසු, ඔහු වෙනුවට සිම්බාබ්වේ තුන් ඉරියව් ක්‍රීඩක සිකන්දර් රාසා කණ්ඩායමට එක්කර තිබේ.
මේ අතර, LPL 2026 Play-Off සහ අවසන් මහා තරග සඳහා ප්‍රවේශපත්‍ර මේ වනවිට මිලදී ගැනීම සඳහා ලබාදී ඇත.


