සිසුන් 20කට ඉන්දියාවේදී හින්දි හැදෑරීමට ශිෂ්‍යත්ව

ශ්‍රී ලාංකික සිසුන් 20 දෙනෙකු ඉන්දියානු රජයේ “විදේශයන්හි හින්දි ප්‍රවර්ධනය” ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ඉන්දියාවේදී හින්දි භාෂාව හැදෑරීම සඳහා තෝරාගෙන තිබේ.

2026 අගෝස්තු සිට 2027 මැයි දක්වා මාස 10ක කාලයක් ආග්‍රාහි කේන්ද්‍රීය හින්දි සංස්ථානයේ (KHS) පැවැත්වෙන පාඨමාලාව සඳහා සිසුන්ගේ ගමන් වියදම්, අධ්‍යයන ගාස්තු සහ දේශීය පහසුකම් ඉන්දියානු රජය විසින් දරනු ඇත.

සිසුන් ඉන්දියාව බලා පිටත්ව යාමට පෙර අගෝස්තු 4 වැනිදා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සිසුන් හමුවිය. එහිදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සහස්‍ර ගණනක් පැරණි සංස්කෘතික, භාෂාමය, සාහිත්‍යමය සහ ආධ්‍යාත්මික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේදී හින්දි භාෂාව සහ සාහිත්‍යයේ වැදගත්කම ඔහු අවධාරණය කළේය.

හින්දි සහ සිංහල භාෂා අතර පවතින භාෂාමය සබඳතා පිළිබඳවද මහ කොමසාරිස්වරයා සිසුන් සමඟ අදහස් හුවමාරු කරගත් අතර, ඔවුන්ගේ අධ්‍යයන කටයුතු සඳහා සුබ පැතුම් එක් කළේය.

තෝරාගත් සිසුන් අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් පස්දෙනෙකු, රුහුණු විශ්වවිද්‍යාලයේ එක් සිසුවෙකු, කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලී මණ්ඩපයේ එක් සිසුවෙකු, අනුරාධපුර රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් තිදෙනෙකු සහ කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් අටදෙනෙකු ඇතුළත් වේ.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පාසල් සහ විශ්වවිද්‍යාල කිහිපයක් ඇතුළුව ආයතන 100කට ආසන්න සංඛ්‍යාවක හින්දි භාෂාව ඉගැන්වීම සිදු කෙරේ.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය විසින් 2011 වසරේ සිට මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සම්බන්ධීකරණය කරනු ලබයි. පසුගිය වසර 14 තුළ ශ්‍රී ලාංකික සිසුන් 200කට වැඩි පිරිසක් මෙම ශිෂ්‍යත්වය ලබා ඇති බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *