2025 A/L ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල ප්‍රවේශයට ලියාපදිංචිය මේ සතියේ

2025 අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා තෝරාගත් සිසුන් ලියාපදිංචි කිරීම මේ සතියේ ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) නිවේදනය කර තිබේ.

මෙවර උසස් පෙළ විභාගයට සිසුන් 281,810 දෙනෙකු පෙනී සිට ඇති අතර, විශ්වවිද්‍යාල පාඨමාලා 130කට වැඩි සංඛ්‍යාවක් සඳහා සිසුන් 41,746 දෙනෙකු තෝරාගෙන තිබේ.

තෝරාගත් සිසුන් අතරින් 9,915 දෙනෙකු ජීව විද්‍යා අංශයෙන්ද, 7,268 දෙනෙකු භෞතික විද්‍යා අංශයෙන්ද, 8,061 දෙනෙකු වාණිජ අංශයෙන්ද, 11,417 දෙනෙකු කලා අංශයෙන්ද තෝරාගෙන ඇත.

මීට අමතරව, ඉංජිනේරු තාක්ෂණවේදය අංශයෙන් සිසුන් 2,483 දෙනෙකුද, ජෛව පද්ධති තාක්ෂණවේදය අංශයෙන් 1,479 දෙනෙකුද, අනෙකුත් විෂය ධාරාවලින් සිසුන් 1,123 දෙනෙකුද විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා තෝරාගෙන තිබේ.

විභාගයට පෙනී සිටි සමස්ත සිසුන් සංඛ්‍යාවෙන් 176,570 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අවශ්‍ය අවම සුදුසුකම් සපුරා ඇති අතර, විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කර ඇත්තේ සිසුන් 92,051 දෙනෙකු පමණි.

මේ අතර, ඉදිරි අධ්‍යයන වර්ෂය සඳහා නව උපාධි පාඨමාලා දෙකක් හඳුන්වා දීමට නියමිත බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය 2026 මැයි 6 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබිණි.

ඒ අනුව, රුහුණ විශ්වවිද්‍යාලයේ සිසුන් 50 දෙනෙකු බඳවා ගන්නා භූගෝලීය තොරතුරු පද්ධති (GIS) උපාධි පාඨමාලාවක් සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 50 දෙනෙකු බඳවා ගන්නා ඉලෙක්ට්‍රොනික හා බුද්ධිමත් පද්ධති ඉංජිනේරු උපාධි පාඨමාලාවක් හඳුන්වා දීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *