ට්‍රම්ප්ගේ කතා කලින් දැනගෙන ඔට්ටු ඇල්ලූ හිටපු ධවල මන්දිර සේවකයාට ඩොලර් 172,000කට වැඩි දඩයක්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කතාවලදී ඔහු පවසන දේ පිළිබඳව කල්තියා දැන සිටිමින් ඒ අනුව ඔට්ටු ඇල්ලීම සම්බන්ධයෙන් ධවල මන්දිරයේ ටෙලිප්‍රොම්ප්ටර් ක්‍රියාකරුවෙකු ලෙස සේවය කළ හිටපු නිලධාරියෙකුට ඇමරිකානු ඩොලර් 172,000කට වැඩි මුදලක් ගෙවීමට නියෝග කර තිබේ.

ඇමරිකානු වෙළෙඳ භාණ්ඩ අනාගත වෙළෙඳ කොමිසම (CFTC) සඳහන් කළේ ගේබ්‍රියෙල් පෙරෙස් නමැත්තා 2025 දෙසැම්බර් සිට 2026 පෙබරවාරි දක්වා කාලය තුළ සැබෑ ලෝක සිදුවීම් සම්බන්ධයෙන් ඔට්ටු ඇල්ලීමට අවස්ථාව ලබාදෙන Kalshi අනාවැකි වෙළෙඳපොළ වේදිකාවේ ගනුදෙනු සිදුකර ඇති බවයි.

ට්‍රම්ප්ගේ කතාවල අන්තර්ගතය පිළිබඳව කලින් ලැබුණු තොරතුරු භාවිත කරමින් පෙරෙස් ඔට්ටු ඇල්ලූ බවත්, එය ඔහුට පැවරී තිබූ විශ්වාසය සහ රහස්‍යභාවය පිළිබඳ වගකීම උල්ලංඝනය කරමින් තොරතුරු අයථා ලෙස භාවිත කිරීමක් බවත් CFTC පවසයි.

සිකුරාදා ප්‍රකාශයට පත් කළ එකඟතා ගිවිසුමක් යටතේ පෙරෙස් උපයාගත් ලාභයෙන් ඇමරිකානු ඩොලර් 107,539.02ක් ආපසු භාරදිය යුතු අතර, ඇමරිකානු ඩොලර් 65,000ක සිවිල් දඩයක්ද ගෙවිය යුතුය.

එමෙන්ම වසර තුනක කාලයක් වෙළෙඳ ගනුදෙනුවල නිරත වීමද ඔහුට තහනම් කර තිබේ.

විමර්ශනය සඳහා පෙරෙස් ලබාදුන් “ආදර්ශවත් සහයෝගය” සැලකිල්ලට ගනිමින් දඩ මුදල අඩු කළ බව CFTC සඳහන් කළේය.

විශේෂිත වචන හෝ වාක්‍ය ඛණ්ඩ කථිකයන් විසින් භාවිත කරන්නේද යන්න පිළිබඳව පරිශීලකයන්ට ඔට්ටු ඇල්ලීමට හැකි “mention markets” ලෙස හැඳින්වෙන වෙළෙඳපොළ සම්බන්ධයෙන් අසාමාන්‍ය ගනුදෙනු සිදුවන බව Kalshi සමාගම මීට පෙර හඳුනාගෙන තිබිණි.

ගිණුම් තොරතුරු පරීක්ෂා කිරීමෙන් පසුව එම ගනුදෙනු සිදු කළ පුද්ගලයා ධවල මන්දිරයේ ටෙලිප්‍රොම්ප්ටර් ක්‍රියාකරවන ෆෙඩරල් රජයේ සේවකයෙකු බව හඳුනාගත් බවත්, ඒ සම්බන්ධයෙන් නියාමන බලධාරීන්ට දැනුම් දුන් බවත් එම සමාගම සඳහන් කර තිබේ.

එවකට ධවල මන්දිර මාධ්‍ය ලේකම් කරොලයින් ලෙවිට් ජූලි මාසයේදී සඳහන් කළේ පෙරෙස් වැටුප් රහිත නිවාඩුවකට යොමු කර ඇති අතර ඔහු තවදුරටත් ධවල මන්දිරයේ සිය තනතුරට නොපැමිණෙන බවයි.

CFTC විසින් ප්‍රකාශයට පත් කළ මෙම එකඟතා ගිවිසුම සම්බන්ධයෙන් ධවල මන්දිරය මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *