22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීමට කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කරන ලෙස කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පස් දෙනෙකුගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදී, එක් පෙත්සම්කරුවෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා විසින් මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇත.

ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, අලි සබ්රි, ජෙෆ්රි අලගරත්නම්, එරාජ් ද සිල්වා, ශ්‍රීනාත් පෙරේරා, අනුර මැද්දෙගොඩ සහ මෛත්‍රී ගුණරත්න යන මහත්වරුන් ඇතුළු පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි තවත් ජනාධිපති නීතිඥවරුන්ද එම ඉල්ලීමට සහාය පළ කර තිබේ.

කෙසේ වෙතත්, තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරුවරයා සඳහන් කර ඇත්තේ පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත්, පෙත්සම් දැනට පත් කර ඇති පස් දෙනෙකුගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේම ඉදිරියට විභාග කරන බවත්ය.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විනිසුරු මඩුල්ලක සංයුතිය සහ විනිසුරුවරුන් සංඛ්‍යාව තීරණය කිරීමේ අභිමතය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132(3) වගන්තිය යටතේ අගවිනිසුරුවරයා සතු බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා කරුණු දක්වමින් සඳහන් කර ඇත.

මෙම පෙත්සම් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා සහ අචලා වෙන්ගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන විනිසුරුවරුන්ගෙන් සමන්විත පස් දෙනෙකුගේ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනේ.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට එරෙහිව පෙත්සම් 67ක් ගොනු කර ඇති අතර, අධිකරණ සංවිධාන පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සම් 5ක් ගොනු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *