ශ්‍රී ලංකා – ඉන්දියා පළමු 20-20 තරගය අදයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය අද(5) පස්වරු 7ට ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ගුවහති නුවරදී පැවැත්වීමට නියමිතය.

වසර එක හමාරකට පමණ ඉහතදී විස්සයි-20 තරගයකට ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් මෙන්ම දිගින් දිගටම අසාර්ථක වෙමින් සිටින කුසල් මෙන්ඩිස්ද ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කර ඇති නමුත් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන පළමු තරගයේදී මේ දෙදෙනාටම අවස්ථාව ලැබේද යන්න සැක සහිත බව ඉන්දියාවෙන් ලැබෙන ආරංචි පවසයි.

ශ්‍රී ලංකාවට සාපේක්‍ෂව බලද්දී තරමක් සීතල ප්‍රදේශයක් වන ගුවහති නුවර මීදුමෙන් වැසී පැවැති අතර පසුගිය දිනවල පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක 18 ක් පමණ වු බවත් වාර්තා වේ.

ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ ප්‍රබලතම පිතිකරුවකු වන ධනංජය ද සිල්වා විස්සයි-20 කණ්ඩායමට ඇතුළත්ව සිටින අතර ඔහුගෙන් පන්දු යැවීමේ කාර්යභාරයද අපේක්ෂා කෙරේ.

අවසන් මොහොතේ ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් වූ කුසල් මෙන්ඩිස් දිගින් දිගටම අසාර්ථක වෙමින් සිටී. ගෙවීගිය වසරේ පැවැති විස්සයි-20 තරග වලදී කුසල් මෙන්ඩිස්ගේ ලකුණු රැස්කිරීම් සටහන් වන්නේ 17, 0, 4, 79, 26, 0, 1 සහ 13 ක් වශයෙනි.

කෙසේ වුවද තේරීම් කමිටු නිලධාරීන් මෙන්ම නව පුහුණුකරු මිකී ආතර්ද කුසල් මෙන්ඩිස් කෙරෙහි  විශ්වාසය තබා සිටීම විශේෂ සිද්ධියකි.

විස්සයි-20 තරග 24 කට සහභාගි වී සිටින කුසල් මෙන්ඩිස් මේ දක්වා ලබාගෙන ඇත්තේ අර්ධ ශතක 5ක් පමණි. විස්සයි-20 තරගයකදී ඔහුගේ ලකුණු රැස්කිරීමේ සාමාන්‍යය 19.70 ක් ලෙසින් සටහන් වේ.

 

ශ්‍රී ලංකා පිතිකරුවන්ට කවදත් හිසරදයක් වන රෝහිත් ෂර්මා මෙම තරගාවලියේදී විවේක ගන්වා ඇති අතර ජස්ප්‍රීට් බුම්රා ඉන්දීය කණ්ඩායමට කැඳවා තිබේ. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් රෝහිත් ෂර්මා විවේක ගන්වා ඇති බැවින් ෂිකාර් ධවාන් සහ ලෝකේෂ් රාහුල් ආරම්භක පිතකරුවාගේ භූමිකාවට පිවිසෙනු ඇත.

ශ්‍රී ලංකාව මෙම තරගාවලිය සලකන්නේ අනාගතය වෙනුවෙන් කෙරෙන ආයෝජනයක් ලෙසිනි. ශ්‍රී ලංකාවේ ප්‍රබලතම ක්‍රීඩකයන් නොමැති වූ, දෙවැනි පෙළ කණ්ඩායමක් පාකිස්තානයට ගොස් විස්සයි-20 තරගාවලියේදී පාකිස්තානය 3-0 කින් පරාජය කළේය. වඩාත් ප්‍රබල ක්‍රීඩකයන් රැසක් සමගින් ගිය ඕස්ට්‍රේලියානු සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම 3-0 ක් ලෙසින් පරාජය විය.

ශ්‍රී ලංකා සංචිතය
ලසිත් මාලිංග (නායක), ධනුෂ්ක ගුණතිලක, අවිශ්ක ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, කුසල් ජනිත් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, ඉසුරු උදාන, භානුක රාජපක්‍ෂ, ඕෂධ ප්‍රනාන්දු, වනිඳු හසරංග, ළහිරු කුමාර, කුසල් මෙන්ඩිස්, ලක්ෂාන් සඳකැන් සහ කසුන් රාජිත

ඉන්දීය සංචිතය    
විරාට් කෝලි (නායක), ෂිකාර් ධවාන්, ලෝකේෂ් රාහුල්, ශ්‍රියාස් අයියර්, මනීෂ් පාණ්ඬේ, සංජු සැම්සන්, රිෂාබ් පන්ට්, ෂිවම් ඩූබ්, යුෂ්වේන්ද්‍ර චාහල්, කුල්දීප් යාදව්, රවීන්ද්‍ර ජදේජා, ශර්දුල් ඨාකූර්, නව්දීප් සයිනි, ජස්ප්‍රීට් බුම්රා සහ වොෂිංටන් සුන්දර්

 

1 Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *