රසායනික වී වගාවේ අස්වැන්න කෘත්‍රිම බව ගොවීන් පවසයි

කාබනික වී වගාවේදී දේශීය වී වර්ග වගා කර උපරිම හා ගුණාත්මක අස්වැන්නක් ලබා ගත හැකි බව අනුරාධපුර ගොවියෝ සඳහන් කරති. අනුරාධපුර, රඹෑව, ගල්කුලම, දේවහූව ප්‍රදේශවල මහ කන්නයේ කාබනික වී වගාව නීරික්ෂණය සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් එම ප්‍රදේශවල කරන ලද සංචාරයකදී ගොවියෝ මේ බව සඳහන් කළහ.
“දෙමුහුන් වී කියලා අපිට හඳුන්වලා දීලා තියෙන්නේ රසායනික පොහොරවලට පමණක් ඔරොත්තු දෙන වී වර්ග. අපි ඒවට කියන්නෙ සුද්දාගේ වී කියලයි. ඒවාට කාබනික පොහොර කොපමණ යෙදුවත් අස්වැන්න සරු කර ගන්න අමාරුයි. ඒ වී වර්ග වගා කරලා තමයි ගොවියෝ දැන් වී වගාව අසාර්ථකයි කියලා කෑ ගහන්නේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගොවිපලවල මේ වී වර්ග අත්හදා බලන්නෙත් රසායනික පොහොර යොදාගෙන. ඒ නිසා ඔය දෙමුහුන් වී වර්ගවලට රසායනික පොහොර ඕනෑමයි. ජනාධිපතිවරයා කාබනික පොහොර යොදා වී වගා කරන්න ගත්තු තීරණය ඉතා වටිනවා. දේශීය වී වර්ග කාබනික පොහොර යොදා වගා කරලා ඉහළ ආදායමක් ලබන්න පුළුවන්. අස්වැන්න ටිකක් අඩු වුණත් වී කිලෝව රුපියල් 90 – 100 විකුණා ගන්න පුළුවන්” යැයි අනුරාධපුර රඹෑව ජයවර්ධන කුමාරසිංහ ගොවි මහතා සඳහන් කරයි.
රඹෑව සදමල්ගමයායේ අක්කර දහයක පමණ දේශීය වී වර්ග හයක් පමණ වගා කර ඇති ජයරත්න කුමාරසිංහ මහතා එම වගාවෙන් ඉහළ අස්වැන්නක ලබන බව අනාවරණය විය. දිවයිනේ දේශීය වී වර්ග වගා කරන ගොවීන්ට දේශීය වීවල බිත්තර වී සපයා දෙන කුමාර මහතා සතුව දේශීය වී වර්ග විසිපහක පමණ බීජ ගබඩා කරගෙන තිබෙන බවද සඳහන් කළේය. මෙම මහ කන්නයේ වගා කළ සුවඳැල් වී වගාවේ අස්වැන්න නෙලාගෙන ඒවා වියලා සකස් කරන අයුරු ද කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක් විය.

රඹෑව ගෝනෑවයායේ පැරෂුට් ක්‍රමයට අක්කර දෙකක පමණ වී වගා කර ඇති මද්දුම බණ්ඩාර හේරත්නායක ගොවි මහතා ඔහුගේ වගාවේ සාර්ථකත්වය පිළිබඳ කරුණු පැහැදිලි කළේ මෙසේය. “කුඹුරු ගොවිතැන ආවට ගියාට කරන්න බෑ. විශේෂයෙන් කාබනික කුඹුරු ගොවිතැනේදී ගොවියා දිනපතා කුඹුරට යන්න එන්න ඕනේ. රසායනික පොහොර යොදා වී වගා කරන ගොවීන් කුඹුරට වී දාලා ගොයම හැදුණම වල්නාශක, කෘමිනාශක ගහලා ආයේ කුඹුරට එන්නෙ අස්වැන්න නෙලන්න විතරයි. කාබනික වගාව හරියට කරනවා නම් ගොවියා දිනපතා කුඹුරට ඇවිල්ලා හැදෙන ගොයම සමඟ වැවෙන වල් පැළ ඉවත් කරලා ගොයමට වතුර ටික බැදලා ගොයමට සාත්තු කරන්න ඕන. රසායනික පොහොරවලින් ලබා ගන්න අස්වැන්න කෘත්‍රිමයි. නමුත් කාබනික වගාවේ අස්වැන්න ලැබෙන්නෙ ගොවියා ඒ වෙනුවෙන් කරන කැපවීම අනුවයි. ගොවිතැනට කැපවෙන්න බැරි කම්මැලියෝ කෘත්‍රිම අස්වැන්න වෙනුවෙන් රසායනික පොහොර ඉල්ලාගෙන කෑ ගහනවා” යැයිද මද්දුම බණ්ඩාර හේරත්නායක මහතා කීවේය.

අනුරාධපුර ආඬියාගල දේවහුව ප්‍රදේශයේදී අපට හමු වූ කාබනික පොහොර නිෂ්පාදනය කරන පී.සී.ජගත් කුමාර මහතා අප සමඟ කීවේ කාබනික වී ගොවිතැන ලාභදායි ගුණාත්මක අස්වැන්නක් ලබා ගත හැකි ක්‍රමයක් බැවින් ප්‍රදේශයේ ගොවි ජනතාව උනන්දු කරවා ඔවුන්ට අවශ්‍ය කාබනික පොහොර ලබා දී කාබනික වී ගොවිතැන අඛණ්ඩවම කර ගෙන යෑමට කටයුතු කරන බවය.“ කන්න දෙකතුනක් ගත වෙනතුරු කාබනික වී අස්වැන්න අඩු වෙන්න පුළුවන්. එහෙම වුණත් ගොවියාට පාඩු නෑ. කාබනික වී කිලොවක් රුපියල් සියයකට වැඩියෙන් විකුණා ගන්න පුළුවන්. කාබනික වගාව එපා කියලා හෝ එය අසාර්ථකයි කියලා කෑ ගහන්නෙ ගොවියෝ නෙවෙයි. රසයනික පොහොර සමාගම්වල සල්ලි තමයි කෑ ගහන්නෙ. මටත් කාබනික පොහොර නිෂ්පාදනය බාල කරලා නිෂ්පාදනය කරන්න ලක්ෂ පනහක් දෙන්න සමහර කොම්පැනි ඉදිරිපත් වුණා. මම ඒ අයගේ සල්ලිවලට යට වුණේ නෑ. මම නිෂ්පාදනය කරන කාබනික පොහොර ගොවින්ට නොමිලේ ලබා දීලා එහි සාර්ථකත්වය අත්හදා බලමින් ඉන්නෙ. දැනට තිබෙන තොරතුරු අනුව මම නිෂ්පාදනය කරන කාබනික පොහොර සාර්ථක බව පෙන්වා තිබෙනවා. ගොවියාත් දැන් කාබනික වගාවට යොමු වෙමින් ඉන්නවා. දැන් ඉතින් ජනාධිපති හා රජය මේ වැඩේ අතහැරියත් අපි දිගටම කාබනික ගොවිතැන කරනවා” යැයිද ජගත් මහතා කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *