මොරටුවේදී ඇතිවූ සිදුවීම ජනපතිගේ විවේචනයට

කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට ප්‍රදේශ තෝරාගෙන ඇත්තේ විද්‍යානුකූල පදනමක් යටතේ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ රැස්වූ කොවිඩ් මර්දන විශේෂ කමිටුවේදීය.

එහිදී එන්නත්කරණ වැඩසටහනක් අතරතුර ඊයේ මොරටුවේදී ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා සිය අප්‍රසාදය පළ කරමින් අදහස් පළ කළේය.

“එන්නත් කිරීමට අපි තැන් තෝරගත්තේ විද්‍යානුකූලව. දිස්ත්‍රික්කවලත් මේක අවශ්‍යම ප්‍රදේශ හොයලා බලලා නේ. එහෙම කරලත් අර ඊයේ කැත දර්ශනයක් නේ. මුළු වැඩසටහනම විනාශ වෙලා ගියා. ඒවගේ ඒවා වෙන්න දෙන්න එපා.” 

එහිදී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ, “අතිගරු ජනාධිපතිතුමනි. ඒ ගැන සමාවෙන්න ඕනේ. ඒක අහඹු ලෙස වෙච්ච දෙයක්,”යනුවෙනි.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ, “ඔව් මම දන්නවා. හැමතැනම හොඳට වුණා. එක තැනක එහෙම කළාම. ඒක තමයි මාධ්‍යවල යන්නේ,” ලෙසය.

මොරටුවේදී ඊයේ පැවැති එන්නත්කරණ වැඩසටහන අතරතුර උණුසුම් තත්වයක් ඇතිවූයේ, මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා විසින් යොමු කරනු ලැබූ පිරිසකට එන්නත් ලබාදීමට ඔහු ගෙනතිබූ උත්සාහයත් සමගය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *