බිත්තර විකුණුම් මිල ගණනය කර සතියක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස රාජ්‍ය මූල්‍ය සභාපතිවරයා උපදෙස් ලබාදෙයි.

බිත්තරයක් අලෙවි කළ හැකි අවසන් මිල ගණනය කර ලබා දෙන ලෙස රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මුදල් හා වෙළෙඳ අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ.

ශ්‍රී ලංකාවට කුකුළු ආහාර ආනයනය කිරීමට අදාළව 1969 අංක 1 දරන ආනයන අපනයන (පාලන) පනත යටතේ පවතින රෙගුලාසි සැලකිල්ලට ගෙන බිත්තරයක මිල ගණනය කරන ලෙස සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත.

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ පැවැති රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි.

2010 අංක 17 දරණ කැසිනෝ ව්‍යාපාර (නියාමන) පනත යටතේ වන රෙගුලාසි පිළිබඳව ද කමිටුව සාකච්ඡා කර ඇති අතර එහිදී කමිටු සාමාජිකයින්ගේ අදහස වූයේ එය රට සංවර්ධනය කිරීමට වඩාත් ඵලදායී බවට පත් කිරීමෙන් පසු අනුමැතිය සලකා බැලීම වඩාත් සුදුසු බවයි.

කැසිනෝ නියාමන අධිකාරියක් නොමැතිවීම හේතුවෙන් පවතින ගැටලු පිළිබඳව ද කමිටුවේ අවධානය යොමු විය. ලෝකයේ කිසිම රටක කැසිනෝ නියාමන ආයතනයකින් තොරව කැසිනෝ බලපත්‍රයක් ලබා නොදෙන බව ආචාර්ය ද සිල්වා මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *