නොරොච්චෝලේ බලාගාරයේ මෑතකදී ආනයනය කරන ලද ගල් අඟුරු වලින් යන්ත්‍රෝපකරණවලට හානියක් නැත: කෝප්

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ මෑතකදී ආනයනය කරන ලද ගල් අඟුරු භාවිතය හේතුවෙන් යන්ත්‍රෝපකරණවලට කිසිදු හානියක් සිදුවී නොමැති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපති ආචාර්ය නිශාන්ත සමරවීර මහතා පවසයි.

බලාගාරය නිසියාකාරව ක්‍රියාත්මක වන බවත්, විදුලි උත්පාදනයේ සුළු අඩුවීමක් පවතින නමුත්, එය රටේ වත්මන් බලශක්ති අවශ්‍යතාවයට ගැටලුවක් නොවන බවත් ඔහු තහවුරු කළේය.

අනාගත ප්‍රයෝජනය සඳහා අවශ්‍ය ගල් අඟුරු තොග මෙම බලාගාරය සතුව පවතින බව පැවසූ සභාපතිවරයා දැනට පවතින පරීක්ෂණ අවසන් වන තුරු කටකතාවලට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ඔහු මේ අදහස් පළ කළේ පසුගියදා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් ලක්විජය බලාගාරයේ ස්ථානීය පරීක්‍ෂණයක් සිදු කළ අවස්ථාවේදීය.

මෙම පරීක්‍ෂණයේදී ගල් අඟුරු ගොඩබෑමේ සිට විදුලිය නිපදවීම දක්වා වූ සම්පූර්ණ ක්‍රියාවලිය කමිටුව විසින් පරීක්‍ෂා කරන ලදී. ගල් අඟුරු ගොඩබෑම, ගබඩා කිරීම, අහඹු ලෙස නියැදීම, නියැදි පරීක්ෂා කිරීම සහ ප්‍රධාන පාලක මැදිරිය තුළ සිදුකරන මෙහෙයුම් ඇතුළු ක්‍රියාකාරකම් කෙරෙහි අවධානය යොමු විය.

බලශක්ති උත්පාදනය සඳහා භාවිතා කරන ආනයනික ගල් අඟුරුවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම සඳහා ස්වාධීන, පිළිගත් රසායනාගාරයක් රට තුළ ස්ථාපිත කිරීම ඉතා වැදගත් බව කමිටුව නිරීක්ෂණය කළේය.

මෙම සාම්පල එකතු කිරීම සහ බෙදාහැරීම සම්බන්ධයෙන් ගැටළු පවතින බැවින් ඉදිරියේදී ඇතිවිය හැකි ගැටළු වළක්වා ගැනීම සඳහා එම ක්‍රියාවලිය වැඩිදියුණු කළ යුතු බව කෝප් කමිටු සභාපතිවරයා අවධාරණය කළා. ස්වාධීන පිළිගත් රසායනාගාරයක් මගින් ගල් අඟුරු පරීක්ෂා කළ යුතු බවත්, බලාගාරයේ අභ්‍යන්තර රසායනාගාරය ගෝලීය වශයෙන් පිළිගත් ක්‍රමවලට අනුව ක්‍රමාංකනය කළ යුතු බවත් ඔහු අවධාරණය කළේය.

ආනයනික ගල් අඟුරුවල ප්‍රමිතිය සහ විදුලි උත්පාදනයට ඇති කරන බලපෑම පිළිබඳව මහජනතාවගේ ගැටලුවලට පිළිතුරු දෙමින් සභාපතිවරයා සඳහන් කළේ ආනයනික ගල් අඟුරුවල ගුණාත්මක භාවය ලක්විජය බලාගාරයේ නිෂ්පාදනය සඳහා ප්‍රශස්ත පරාසයට නොපැමිණීම නිසා නිපදවන විදුලි ප්‍රමාණයේ යම් අඩුවීමක් සිදුවන බවයි.

ගල් අඟුරු ආනයනය ආරම්භයේ සිට මේ දක්වා සමස්ත ක්‍රියාවලියම ආවරණය වන පරිදි මෙම ස්ථාන සංචාරයේ සොයාගැනීම් සහ ඉදිරි විගණන වාර්තා මත පදනම්ව මෙම තත්ත්වය චේතනාන්විත දෙයක් දැයි විමර්ශනය කිරීමට කමිටුව අදහස් කරන බව ඔහු ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *