නව අධි තාක්ෂණික කේබල් මත පිහිටි නව කැලණි පාලම යා කෙරේ

ශ්‍රී ලංකාවේ පළමු අධි තාක්ෂණික කේබල් මත පිහිටි පාලම වන පෑලියගොඩ නව කැලණි පාලමේ, කැලණි ගඟ හරහා ඉදිකර ඇති කොන්ක්‍රීට් පාලම් කොටසේ ඉදිකිරීම් අවසන් කර පාලම යාකිරීම අද සිදුකෙරුණි.

ඒ මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙනි.

කොළඹ කටුනායක අධිවේගී මාර්ගය විවෘතවීමෙන් අනතුරුව කොළඹ නගරයට ඇතුළුවන වාහන සංඛ්‍යාවේ විශාල වැඩිවීමක් සිදුවූ අතර අධික වාහන සංඛ්‍යාවක් සඳහා වත්මන් කැලණි පාලමේ ධාරිතාවය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් 2014 වසරේදී නව කැලණි පාලම් ව්‍යාපෘතියට මූලික සැලසුම් සකස් කොට ගිවිසුම් ගතවිය.

ඒ අනුව මහාමාර්ග අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් පැරණි කැලණි පාළමට යාබදව මංතීරු 06 කින් යුත් නව පාලම ඉදිකිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කෙරුණි.

ශ්‍රී ලංකාවේ පළමුවරට නවීන ඉංජිනේරු තාක්ෂණයෙන් සමන්විත අධි තාක්ෂණික කේබල් මත එම නව කැලණි පාලම ඉදිකිරීම සිදුකර ඇති අතර, කල්පවත්නා අධි තාක්ෂණික රැහැන් සහ ගංඉවුර මත දෙපසට විහිදෙන විශාල කුළුණු 2ක් මඟින් ප්‍රධාන පාලමේ බර දරා සිටින ආකාරයට, දෙපසට සමාන බර ලැබෙන පරිදි එම පාලම නිර්මාණය කර තිබේ.

ඒ අනුව ගංඉවුරු දෙක හරහා ආරම්භ කළ ඉදිකිරීම් අවසන් කර පාලම යා කිරීම මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද සිදුකෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *