2030 වන විට වාර්ෂිකව සංචාරකයින් මිලියන 4ක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සහ සංචාරක කර්මාන්තයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 8ක ආදායමක් උපයා ගැනීම රජයේ ඉලක්කය බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
සංචාරක කර්මාන්තය තවදුරටත් පුළුල් කරන අතරම එමගින් ලැබෙන ආර්ථික ප්රතිලාභ ප්‍රාදේශීය ජනතාව වෙතද සාධාරණ ලෙස ගලා යන බව සහතික කිරීම රජයේ අරමුණක් බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
2026 ලෝක සංචාරක දිනය නිමිත්තෙන් පැවති ජාතික සමුළුවකට එක්වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළාය.
අග්‍රාමාත්‍යවරිය පැවසුවේ 2024 වසරේ සිට ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇති බවයි.
2024 වසරේදී සංචාරකයින් මිලියන 2.05ක් පමණ ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, එමගින් ඇමරිකානු ඩොලර් බිලියන 3.17ක ආදායමක් උපයා ඇති බව ඇය සඳහන් කළාය.
2025 වසරේදී සංචාරක පැමිණීම් සංඛ්‍යාව 2,362,521ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එම වසරේදී සංචාරක කර්මාන්තයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3.22ක විදේශ විනිමය ආදායමක් රටට ලැබුණු බවද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.
මෙම වර්ධනය තවදුරටත් ඉදිරියට ගෙන යමින් 2030 වන විට වාර්ෂික සංචාරක පැමිණීම් මිලියන 4ක් දක්වා ඉහළ නැංවීම සහ සංචාරක ආදායම ඩොලර් බිලියන 8ක් දක්වා වැඩි කිරීම රජයේ ඉලක්කය බව ඇය සඳහන් කළාය.
පරිසරයට හෝ ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයට හානි නොවන ආකාරයෙන් ප්‍රාදේශීය ප්‍රජාවන් සවිබල ගන්වන පරිසර හිතකාමී සංචාරක කර්මාන්තයක් ගොඩනැගීම රජයේ ප්‍රධාන අරමුණක් බවද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.
සංචාරක කර්මාන්තයෙන් උපදවන ආර්ථික ප්රතිලාභ ගම්මානවල ක්‍රියාත්මක වන කුඩා පරිමාණ ව්‍යවසායකයන් ඇතුළු ප්‍රාදේශීය ජනතාව වෙත සාධාරණ ලෙස බෙදී යා යුතු බවද ඇය අවධාරණය කළාය.
“තිරසර සහ සංස්කෘතිකව ඒකාබද්ධ සංචාරක කර්මාන්තයක් සඳහා ඩිජිටල් නවෝත්පාදන” යන තේමාව යටතේ පැවති ජාතික සමුළුවට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ අදහස් පළ කළාය.
බස්නාහිර පළාත් සභා ශ්‍රවණාගාරයේදී පසුගිය 27 වැනිදා පැවති මෙම සමුළුව බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය සහ කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය එක්ව සංවිධානය කර තිබිණි. එහි තේමාව වූයේ “සංචාරක කර්මාන්තය යළි සැලසුම් කිරීම සඳහා ඩිජිටල් න්‍යාය පත්‍රය සහ කෘත්‍රිම බුද්ධිය” යන්නයි.
සියවස් ගණනාවක් පුරා මානව නිර්මාණශීලීත්වය, ප්‍රඥාව, සාම්ප්‍රදායික දැනුම සහ සංස්කෘතික විවිධත්වයෙන් පෝෂණය වූ සුවිශේෂී උරුමයක් ශ්‍රී ලංකාව සතු බව අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.
එම ඓතිහාසික උරුමය ආරක්ෂා කර ගනිමින් එය රටේ සමාජ හා ආර්ථික සංවර්ධනයට දායක කර ගැනීම වැදගත් ජාතික වගකීමක් බවද ඇය සඳහන් කළාය.
රජයේ “සමෘද්ධිමත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති වැඩසටහනේ එක් අරමුණක් වන්නේ සෑම ක්ෂේත්රයකටම නවීන තාක්ෂණය සහ ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙමින් ආර්ථිකය ශක්තිමත් කිරීම බව අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.
රජයේ සංචාරක ඉලක්ක සපුරා ගැනීම සඳහා විශ්වවිද්‍යාල සහ පර්යේෂණ ආයතන විසින් උත්පාදනය කරන දැනුම හා පර්යේෂණ ප්‍රායෝගික සංචාරක ක්ෂේත්රයේ සංවර්ධනයට සෘජුව යොදාගැනීම අවශ්‍ය බවද ඇය අවධාරණය කළාය.
නවෝත්පාදන ප්‍රායෝගික විසඳුම් බවට පත් කිරීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශ, විශ්වවිද්‍යාල මෙන්ම උරුම සංරක්ෂණයට සම්බන්ධ පාර්ශ්වකරුවන් එක්ව කටයුතු කළ යුතු බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
තිරසර සංචාරක කර්මාන්තයක පදනම ලෙස ඩිජිටල් තාක්ෂණය, නිර්මාණශීලීත්වය සහ ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය පිළිබඳ දැනුමෙන් තරුණ පරපුර සහ පාසල් දරුවන් සන්නද්ධ කිරීමේ වැදගත්කමද ඇය පෙන්වා දුන්නාය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා සංචාරක ක්ෂේත්රයට වැඩි අවධානයක් යොමු කරන බව පැවසූ අග්‍රාමාත්‍යවරිය, සංචාරක කර්මාන්තය අනාගත වෘත්තීය ක්ෂේත්රයක් ලෙස සලකා බලන ලෙස පාසල් දරුවන්ගෙන්ද ඉල්ලා සිටියාය.


