න්‍යෂ්ටික සහ විකිරණශීලී ද්‍රව්‍ය ජාවාරම වැළැක්වීමට ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර සහයෝගීතාව ශක්තිමත් කෙරේ

න්‍යෂ්ටික සහ අනෙකුත් විකිරණශීලී ද්‍රව්‍ය නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කිරීම හඳුනාගෙන වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර තිබේ.

ඇමරිකානු විශේෂඥයන් සහ ශ්‍රී ලංකා බලධාරීන්ගේ සහභාගීත්වයෙන් දින පහක් පුරා පැවති වැඩමුළුවක් මගින් මෙම සහයෝගීතාව ශක්තිමත් කර ඇති බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

ඇමරිකානු බලශක්ති දෙපාර්තමේන්තුවේ න්‍යෂ්ටික ජාවාරම් හඳුනාගැනීම සහ වැළැක්වීමේ කාර්යාලය (NSDD) සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව මෙම වැඩසටහන සැප්තැම්බර් 21 සිට 25 දක්වා පවත්වා තිබේ.

වැඩමුළුවේදී න්‍යෂ්ටික ද්‍රව්‍ය ජාවාරම් හඳුනාගැනීමේ මෙහෙයුම් සඳහා සම්මත මෙහෙයුම් ක්‍රියාපටිපාටි සකස් කිරීම සම්බන්ධයෙන් ඇමරිකානු විශේෂඥයන් ශ්‍රී ලාංකික සහභාගිවන්නන් සමඟ කටයුතු කර තිබේ.

එම ක්‍රියාපටිපාටි සකස් කිරීමේදී ජාත්‍යන්තරව පිළිගත් හොඳම භාවිතයන් සැලකිල්ලට ගනිමින්, ඒවා ශ්‍රී ලංකාවේ පවතින නීතිමය හා නියාමන රාමුවට අනුකූල වන පරිදි සකස් කිරීමට අවධානය යොමු කර තිබේ.

න්‍යෂ්ටික සහ අනෙකුත් විකිරණශීලී ද්‍රව්‍ය නීතිවිරෝධී ලෙස මෙරට හරහා ප්‍රවාහනය කිරීම හඳුනාගෙන ඊට ප්‍රතිචාර දැක්වීමට ශ්‍රී ලංකාව සතු හැකියාව වැඩිදියුණු කිරීම සඳහා ජාතික ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම කෙරෙහිද වැඩසටහනේදී අවධානය යොමු කර තිබේ.

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති එරික් මේයර් මහතා පැවසුවේ, මෙම සහයෝගීතාව මගින් නීතිවිරෝධී න්‍යෂ්ටික ද්‍රව්‍ය හඳුනාගැනීමටත්, ඒවා ශ්‍රී ලංකාවේ වරායන් හෝ මුහුදු සීමාවන් හරහා ප්‍රවාහනය කිරීම වැළැක්වීමටත් ශ්‍රී ලාංකික ආයතන වෙත ප්‍රායෝගික මෙවලම් ලබාදෙන බවයි.

එවැනි හැකියාවන් ශක්තිමත් කිරීම මගින් ශ්‍රී ලංකාවේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීමටත්, ඉන්දීය සාගරයේ වැදගත් වෙළෙඳ මාර්ග ආරක්ෂා කිරීමටත් හැකි වන අතර, ඇමරිකා එක්සත් ජනපදයේ සහ එහි හවුල්කරුවන්ගේ ආරක්ෂාවටද දායක වන බව ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව සහ මණ්ඩලය, ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, වෙළෙඳ නාවික අධ්‍යක්ෂ ජනරාල් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයන් ද මෙම වැඩමුළුවට සහභාගී වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *