මේ වසර තුළ අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 2කට ආසන්න පිරිසක් ආර්ථික හා සමාජීය වශයෙන් සවිබල ගැන්වීමට රජය අපේක්ෂා කරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා පැවසීය.
කැලණියේදී පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ 2029 වසර වනවිට අස්වැසුම ප්‍රතිලාභ ලබන පවුල් ලක්ෂ 12ක් ආර්ථික හා සමාජීය වශයෙන් සවිබල ගැන්වීම රජයේ පුළුල් වැඩපිළිවෙළේ අරමුණක් බවයි.
එම වැඩසටහන යටතේ කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අස්වැසුම ප්‍රතිලාභී පවුල් සඳහා ජීවනෝපාය සංවර්ධනයට අවශ්‍ය රුපියල් මිලියන 5.5ක් වටිනා උපකරණ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් බෙදා දෙනු ලැබීය.
ඇඟලුම් නිෂ්පාදනය, කුකුළු නිෂ්පාදන අලෙවිය, ශීත කළ ආහාර ව්‍යාපාර සහ වෙල්ඩින් වැනි ස්වයං රැකියා ආරම්භ කිරීමට සහාය වීම සඳහා මෙම උපකරණ ලබාදී තිබේ.
ශීතකරණ, ඩීප් ෆ්‍රීසර්, ජුකි මහන මැෂින්, ඕවර්ලොක් මැෂින්, ග්‍රයින්ඩර් සහ සීලර් ඇතුළු උපකරණ ඒ අතරට ඇතුළත් විය.
ජීවනෝපාය සංවර්ධන උපකරණ හෝ වෙනත් සහායක් ලබාගැනීම හේතුවෙන් අස්වැසුම ප්‍රතිලාභ අහිමි විය හැකි බවට පළවන ප්‍රකාශ අමාත්‍ය පන්නිලගේ මහතා ප්‍රතික්ෂේප කළේය.
අස්වැසුම ප්‍රතිලාභවල කිසියම් වෙනසක් සිදුකිරීම හෝ ඒවා අවසන් කිරීම සිදුවන්නේ වැඩසටහනට අදාළව නියම කර ඇති කාලසීමාව සහ සුදුසුකම් නිර්ණායක අනුව පමණක් බවද ඔහු පැවසීය.
අස්වැසුම ස්ථිර සුබසාධන වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කිරීමට අදහස් නොකරන බවත්, ප්‍රතිලාභීන්ගේ ආර්ථික තත්ත්වය ශක්තිමත් කර ඔවුන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමට උපකාර කිරීම සඳහා කෙටි කාලීන වැඩසටහනක් ලෙස එය ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
එවැනි වැඩසටහන් යටතේ ලබාදෙන සහාය දේශපාලනඥයන්ගේ හෝ රාජ්‍ය නිලධාරීන්ගේ පෞද්ගලික මුදලින් ලබාදෙන්නක් නොව, මහජනතාවගෙන් අය කරන බදු මුදලින් ලබාදෙන රාජ්‍ය සහායක් බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
රාජ්‍ය සහාය මත දිගින් දිගටම රඳා සිටීම වෙනුවට තමන්ගේම ආර්ථික ස්වාධීනත්වයක් ගොඩනගා ගැනීමට ප්‍රතිලාභීන් කටයුතු කළ යුතු බවද ඔහු පැවසීය.
කෙසේ වෙතත්, ප්‍රතිලාභීන්ගේ අවශ්‍යතා අඛණ්ඩව හඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය සහාය ලබාදීමට රජය කටයුතු කරන බවටද අමාත්‍යවරයා සහතික විය.


