දියර කිරි සහ දේශීය කිරිපිටිවල මිල ඉහළ යන ලකුණු

ආනයනික කිරිපිටි මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට නැවත ඉහළ දමා තිබේ.

ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකක ඇසුරුමක මිල රුපියල් 150කින් සහ කිරිපිටි ග්‍රෑම් 400 ඇසුරුමක මිල රුපියල් 60කින් ඉහළ නැංවීමට නියමිතය.

මිල සංශෝධනයත් සමග කිලෝ එකක කිරිපිටි පැකට් එකක නව මිල රුපියල් 1,345ක් දක්වා ඉහළ යනු ඇති.

ග්‍රෑම් 400 ආනයනික කිරිපිටි පැකට් එකක් රුපියල් 540ක් දක්වා මිල ඉහළ යයි.

කිරිපිටි ආනයනකරුවන්ගේ එකමුතුවේ සාමාජික අශෝක බණ්ඩාර මහතා සඳහන් කළේ,

“මිලවැඩි වුණ ප්‍රධාන හේතුව ජාත්‍යන්තර වෙළෙඳපොළේ වෙන්දේසියේ මිල වැඩිවූ නිසා. හිඟයට හේතුව ණයවර ලිපි විවෘත කරගන්න තියෙන දුෂ්කරතාවය.”

මේ අතර ඉදිරියේදී දේශීය කිරිපිටි හා දියර කිරි මිලද ඉහළයා හැකි බව පශු සම්පත් සංවර්ධන මණ්ඩලය පවසයි.

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති මහාචාර්ය මංජුල සුමිත් මහගමගේ මහතා,

“සත්ත්ව ආහාර හිඟතාවය මේ නිෂ්පාදන කෙරෙහි දැඩි බලපෑමක් වෙලා තියෙනවා. තවත් ප්‍රශ්න රැසක් තිබෙනවා. ඒ වගේම පැකේජින් සම්බන්ධවත් යම් ආකාරයකට මිල වැඩිවීමක් තියෙනවා.”

එමෙන්ම දේශීය කිරිපිටි මිලද ඉදිරියේදී ඉහළ යාහැකි බව පශු සම්පත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩි.බී හේරත් මහතා,

“ග්‍රෑම් 400 කිරිපිටි පැකට් එකක රුපියල් 20කින් විතර වැඩිවීමක් බලාපොරොත්තුවෙනවා.”

කෙසේ වෙතත් මිල්කෝ ආයතනයේ සභාපතිවරයා පවසන්නේ කිරිපිටිවල හෝ දියර කිරිවල මිල ඉහළ නොදමන බවය.

මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා,

“පාරිභෝගික ජනතාවගේ තත්ත්වය ගැන සලකලා අපි එ් තීරණයේ ඉන්නවා. දියර කිරි මිලත් ඉහළ නංවන්න අපි තීරණය කරලා නෑ.”

මේ අතර මාසයකට ආසන්න කාලයක සිට රටපුරා උග්‍ර කිරිපිටි හිඟයක් පැවැතීම හේතුවෙන් ජනතාව දැඩි පීඩාවකට පත්වී සිටී.

ඒ පසුගිය ඔක්තෝබර් මස 09 වැනිදා ද කිරිපිටි මිල ඉහළ දැමූ පසුබිමකය.

එහිදී කිරිපිටි කිලෝවක පැකට්ටුවක් රුපියල් 250කින් සහ ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 100කින් මිල ඉහළ දැමුණි.

මේ අතර කිරිපිටි තොග සඟවා ඇති බවට ලද තොරතුරකට අනුව පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් පිටකොටුවේ තොග සහ සිල්ලර වෙළෙඳසැල් පරීක්ෂා කර තිබුණි.

එහිදී කඩයක සඟවා තිබූ කිරිපිටි පැකට් තොගයක් සොයාගත් අතර පසුව ඒවා එම ස්ථානයේදීම පවතින මිලට අලෙවි කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *