එස්බීගේ ආරක්ෂකයින් වෙඩි තබයි – නීතිය ක්‍රියාත්මක කරන්නැයි ගෝඨා ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක ගමන් ගත් රථයට බාධා කළ පිරිසකට මන්ත්‍රීවරයාගේ ආරක්ෂාවට සිටි ඇමති කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු වෙඩි තැබීමක් සිදු කර ඇතැයිද පසුව ඔවුන් අත්අඩංගුවට ගෙන ඇතැයිද වාර්තා වේ.

ගිනිගත්හේන පොලීසිය විසින් අදාල නිලධාරින් දෙදෙනා වෙඩි තැබීම සිදු කළ පිස්තෝල දෙක සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය සඳහන් කරයි.

හිස් පතුරම් තුනක් ද පොලීසිය විසින් සොයාගෙන ඇති අතර කොස්තාපල්වරුන් දෙදෙනා හඳුනාගැනිමේ පෙරෙට්ටුව සඳහා හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

ඊයේ රාත්‍රී 07.30ට පමණ ගිනිගත්හේන පොලිස් වසමේ පොල්පිටිය ප්‍රදේශයේදී එස්.බී දිසානයක මන්ත්‍රීවරයා ගමන් ගත් රථයට බාධා කළ පිරිසකට මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරින් වෙඩි තැබීමක් සිදු කර ඇත.

එහිදී තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු කරවනැල්ල රෝහලේ සහ අනෙක් පුද්ගලයා ගිනිගත්හේන රෝහලේ ප්‍රතිකාර ලබයි.

මෙම වෙඩි තැබිමේ සිද්ධිය දේශපාලන සිදුවිමක් නොවන බව සිදු කළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.
මේ අතර ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *