රවී

එජාප මහලේකම් ධූරයට රවී කරුණානයක පත් කරන ලකුණු…

එක්සත් ජාතික පක්ෂයේ නව මහලේකම්වරයා ලෙස හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා යළි ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙනු ඇතැයි අපේක්ෂා කරන බව ඩේලි මිරර් වෙත වාර්තා වේ.

කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා ලෙස පත්කිරීමට එජාපයේ බහුතරයක් යෝජනා කර ඇතැයි එජාප ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම පියවරට පක්ෂව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද කරුණානායක මහතා සමඟ මේ සම්බන්ධයෙන් දැනටමත් සාකච්ඡා කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂයේ වත්මන් මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ආණ්ඩුකාරවරයෙකු ලෙස පත් කිරීමට නියමිත බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා හෙට (අඟහරුවාදා) කරුණානායක මහතා ඇතුළු එජාප ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙකු හමුවීමට නියමිත බව ආරංචි මාර්ග ඩේලි මිරර් වෙත පැවසීය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායකවරයා ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ නම යෝජනා කිරීමට නියමිත බවද ආරංචි මාර්ග සඳහන් කරයි. ප්‍රනාන්දු මේ වසරේ විපක්‍ෂයෙන් ආණ්‌ඩුවට ගියේ එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත් කිරීමෙන් පසුවය.

කරුණානායක සහ ප්‍රනාන්දු යන දෙදෙනාම එම තනතුරු භාර ගැනීමට එකඟ වී තිබේද යන්න තවමත් පැහැදිලි නැත.

කරුණානායක මහතා පසුගිය මහ මැතිවරණයෙන් පසු බොහෝ දුරට ක්‍රියාකාරී දේශපාලනයෙන් ඈත්ව සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *