අලුත් අවුරුදු පණිවිඩය: 2022 සැලසුම් ජනපති හෙළි කරයි

ජනපතිගෙන් අලුත් අවුරුදු පණිවිඩය

සුබවාදීව සහ අධිෂ්ඨානශීලීව අනාගතය දෙස බැලීමට අලුත් අවුරුදු උදාව සහජයෙන්ම අපව පොළඹවයි. ඒ නිසා අපි 2022 වසර ඉතා උනන්දුවෙන් සහ අපේක්ෂාවෙන් පිළිගන්නවා.

පසුගිය වසර රට සහ සමාජය කෙරෙහි ඇති කළ බලපෑම පිළිබඳව අප මෙනෙහි කළ යුතු අතර, මෙය අනාගත අභිවෘද්ධිය සඳහා වූ යෝජනාවක් සමඟ විය යුතු යැයි මම විශ්වාස කරමි.

අභියෝග ජය ගැනීමටත්, ජනතා කේන්ද්‍රීය ආර්ථිකය ශක්තිමත් කිරීමටත් රජය ගෙන ඇති ක්‍රියාමාර්ග තවදුරටත් ඉදිරියට ගෙන යාමට අලුත් අවුරුද්ද අවස්ථාවක් ලබා දෙන බව මට විශ්වාසයි.

පවතින වසංගත තත්ත්වය හේතුවෙන් අහිතකර ලෙස බලපා ඇති ආර්ථිකය සහ ජීවනෝපාය තවදුරටත් සුරක්ෂිත වනු ඇත. ඒ සඳහා වන සැලසුම් නව සාමාන්‍ය තත්ත්වය යටතේ ක්‍රියාත්මක කිරීමට අපට හැකි වනු ඇත. ආත්ම විශ්වාසය, කැපවීම සහ එකමුතුකම ඇතිව සමෘද්ධිය කරා ගමන් කළ යුතුයි. මේ සම්බන්ධයෙන් අප ජයගත් අභියෝග මෙන්ම ලැබූ අත්දැකීම් ද අලුත් අවුරුද්දේ අපව දිරිමත් කරනු ඇත.

ගෝලීය වසංගතය ජනතාවගේ අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීමේ ප්‍රගතියට අහිතකර ලෙස බලපා ඇත. එසේ වුවද ජාතික ආරක්‍ෂාව සහ සහජීවනය වර්තමානය වන විට තවදුරටත් තහවුරු කර ඇත. නව ප්‍රතිසංස්කරණ ගණනාවක් සකස් වෙමින් පවතී. අක්‍රියව පවතින රජයේ සංවර්ධන ව්‍යාපෘති සහ වැඩසටහන් යළි ආරම්භ කර ඒවා ජනතා අයිතියට පත් කිරීමට පියවර ගෙන තිබේ.

ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතවලට කොවිඩ් වසංගතයේ විනාශකාරී බලපෑම් හමුවේ රජය ගත් ක්‍රියාමාර්ගය ලොව පුරා ප්‍රශංසාවට ලක්ව ඇත. වසංගත තහංචි මධ්‍යයේ වුවද ඔබ අද භුක්ති විඳින නිදහස මේ රටේ සියලුම ජනතාව කළ අපරිමිත කැපකිරීමේ ප්‍රතිඵලයක් බව ප්‍රකාශ කිරීමට මම සතුටු වෙමි.

ජනතාවට හිරිහැර කිරීමට තුඩු දුන් පදනම් විරහිත දේශපාලන අරගලයන් විශාල දේශප්‍රේමීන් විසින් ප්‍රතික්ෂේප කිරීම රජය කෙරෙහි ජනතාවගේ විශ්වාසය තහවුරු කිරීමකි.

ඓතිහාසික රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශක්තිමත්ව පවත්වාගෙන යමින් නව විදේශ සබඳතා ගොඩනගා ගැනීමට අපට ඇති හැකියාව සැලකිය යුතු ආයෝජනයක් ලෙස මම දකිමි.

නව වසර ජනතාව වෙනුවෙන් “සෞභාග්‍යයේ සහ තේජස” සාක්ෂාත් කර ගැනීම සඳහා කැප වූ පරිවර්තනීය වසරක් බවට පත් කරන ලෙස මම සැමට ආරාධනා කරමි.

ඔබ සැමට නිදුක් නිරෝගී, සෞභාග්‍යමත් අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරමි.

ගෝඨාභය රාජපක්ෂ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *