ජනාධිපති

අප අභිමානවත් රටක් ජාතියක් ලෙස ඉදිරියට පැමිණියේ මිහිදු හිමි දෙසූ දහම් මග ඔස්සේයි – ජනපති

අභිමානවත් රටක්, ජාතියක් ලෙස අප ඉදිරියට පැමිණියේ මිහිඳු හිමි දෙසු දහම හා අනුදැන වදාළ ජීවන මඟ ඔස්සේ බව පොසොන් පොහොය දින පණිවුඩය නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටී.

එම සම්පූර්ණ නිවේදනය මෙසේයි.

ශ්‍රී සම්බුද්ධ ධර්මය රැගෙන වැඩම කළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනය සිහිපත්කරමින් මහත් ශ්‍රද්ධා භක්තියෙන් යුක්තව ආමිස හා ප්‍රතිපත්ති පූජාවෙහි නිරත වීම අප රටේ බොදු ජනයා වසර දහස් ගණනක සිට සිරිතක් කොට ගෙන සිටිති. ඒ උන්වහන්සේගේ ආගමනය ශ්‍රී ලංකාද්වීපයෙහි ආගමික, සංස්කෘතික,සාමාජයීය දේශපාලනික ආදී සෑම අංශයකින්ම ශිෂ්ටාචාරමය පරිවර්තනයකට හේතු වූ නිසාය.

සහශ්‍රක දෙකකටත් වඩා අතීතයට දිවෙන, මිහිඳු මහරහතන් වහන්සේ සහ එකල අපේ නරපතියා වූ දේවානම්පිය තිස්ස රජු අතර හමුව ශ්‍රී ලාංකේය ඉතිහාසයේ සුවිශේෂීම සංසිද්ධියයි. අපේ සමාජ වටිනාකම්,ආර්ථිකය, සාහිත්‍යය, කලාව හා ශිල්ප ක්‍රම පවා මහින්දාගමනය තුළින් අලුත් මඟක් ගත්තේය. අහස උසට නිමැවුණු දාගැබ් ද,මහසයුර සදිසි මහවැව් ද, රට ස්වයං පෝෂිත කළ කෙත්වතු ද, ලොව මවිත කළ අද්විතීය කලා නිර්මාණයන් ද, ඒ සියල්ලටම වඩා අටලෝ දහමින් අකම්පිත, ගහකොල සතා සීපාවාට පවා සාධාරණය ඉටුකළ, අපිස් බව ජීවන ප්‍රවෘත්තිය කරගත්, සිවු බඹවිහරණ ලෙහි දරාගත් ලාංකීක බොදුනුවා ද බිහිවන්නේ මේ සමාජ සංස්කෘතික විප්ලවයත් සමඟ ය.

අභිමානවත් රටක්, ජාතියක් ලෙස අප ඉදිරියට පැමිණියේ මිහිඳු හිමි දෙසු දහම හා අනුදැන වදාළ ජීවන මඟ ඔස්සේය. දෙලොව යහපත පිණිස සබුද්ධිකව ක්‍රියා කරන ශිෂ්ටසම්පන්න සමාජයක් බිහිකිරීමට ද ඒ දහම ඉවහල් විය. එබැවින් අතීතයට පමණක් නොව අනාගතයට ද අප රටක් ලෙස ලද වටිනාම දායාදය වන බුදුදහම අපට උරුම වූ උතුම් දිනය පොසොන් පුර පසළොස්වක පොහොය ලෙස සෑම හදවතකම ලියැවී තිබේ.

අප සෞභාග්‍යවත් දේශයක් කරා රට මෙහෙය වන්නේ අතීතයෙන් ලද අත්දැකීම්වලට හා බුදුදහමෙන් ලද ආභාෂයට අනුගතව ය. සැමට සාධාරණය ඉටුවනුයේ ආධ්‍යාත්මික ගුණ වගාවෙන් පිරිපුන්, විනයගරුක හා සමෘද්ධිමත් සමාජයක බව මගේ විශ්වාසය යි. මගේ රජය වර්තමානයට පමණක් නොව අනාගතයට ද සැලසුම් ක්‍රියාත්ම කරන්නේ එකී පදනම මත පිහිටා බව කිව යුතුය. රට වර්තමානයේ මුහුණ දී ඇති වසංගතය හමුවේ වුවද අප, ශිෂ්ටාචාරගත පදනම වු ඒ දර්ශනයෙන් බැහැර වූයේ නැත. යථෝක්ත පදනමෙන් තොර ගමනක් ශ්‍රී ලාංකිකයන් වන අපට නොමැත.

එළැඹ ඇති පොසොන් සමය සමාජය හා ජීවිතය දෙස තථාගත දහමට අනුගතව යථාර්තවාදීව බැලීමට හා අවිහිංසාවාදී බුදු දහමේ ප්‍රභාව ලොවට හෙළිකිරීමට අවස්ථාව කරගැනීම අනුබුදු මිහිදු මා හිමියන්ට කළ හැකි වටිනාම උපහාරය බව මාගේ හැගීමයි.

ඔබ සැමට පින්බර පොසොන් මංගල්‍යයක් වේවායි පතමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *